පවුල් කිහිපයක පිරිසක් විසින් එක්ව පැවැත්වූ අවුරුදු උත්සවයකට සහභාගී වූ කුඩා දැරියක් ඊයේ (18) සවස පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පැලැන්වත්ත, පන්නිපිටිය පාර ප්‍රදේශයේ මිහිඳුපුර පදිංචිව සිටි නමෝදි පෙරේරා නැමැති 06 හැවිරිදි දැරියකි.
දැරියගේ මව විදේශගතව සිටින අතර දැරිය සිය පියාගේ සහෝදරියගේ සෙවනේ හැඳී වැඩෙන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පවුලේ පිරිස සහ සමීප පවුල්වල ඥාතීන් 40ක පමණ පිරිසක් එක්ව ඊයේ (18) උදෑසන පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයකට පැමිණ අවුරුදු උත්සවයක් පවත්වා ඇති අතර සවස් කාලයේදී ජල තටාකය ආසන්නයේ රැඳී සිට ජල ක්‍රීඩාවේ යෙදීමට සූදානම්ව සිට ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
එම අවස්ථාවේ කුඩා දරුවන් සමග පුද්ගලයන් 10 දෙනෙකු ජල තටාකය ආසන්නයේ රැඳි සිට ඇති අතර වැඩිහිටි පුද්ගලයින් සඳහා ජල තටාකයේ වෙන්ව තිබෙන ප්‍රදේශයේ රැඳි සිටි දැරියගේ ඥාතිවරයෙකු විසින් ජල තටාකයට වැටී සිටි දැරිය දැක වහාම ගොඩට ගෙන මූලික ප්‍රථමාධාර ලබා දී ක්ෂණිකව පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
එහිදී වහා ක්‍රියාත්මක වූ වෛද්‍යවරුන් දැරියට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
පොලීසියේ දැනුම්දීම මත සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රියේ පිළියන්දල කැස්බෑව හදිසි මරණ පරීක්ෂ අජිත් විජේසිංහ මහතා ස්ථානීය පරීක්ෂණය මෙන්ම පිළියන්ද දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ දැරියගේ සිරුරද පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට පොලීසියට නියෝග කළේය.














