කොහා හඬනකොට වගේම අවුරුදුත් ළඟයි කියලා කට්ටිය කියනකොට වගේම අපේ ජන සංගීතය කිව්ව හැටියේ අපිට මතක් වෙන නම් කිහිපයක් තියෙනවා. එයින් එකක් තමයි සහන් රන්වල ඇතුළු රන්වල බළකාය. ඔහුගේ ආදරණීය පියා, ලයනල් රන්වලයන්ගේ උරුමයට තවත් යමක් එක් කරමින් අවුරුදු කාලෙට විතරක් සීමා නොවී ලංකාවේ ජන සංගීතයට ඔහු යමක් කරන්න උත්සාහ කරනවා. මෙදා පාර අවුරුද්දේ රන්වල බළකායේ වැඩකටයුතු වගේම අවුරුද්ද ගැනත් අපි සහන් රන්වලයන් සමග කතාබහක නිරත වුණා.
සහන් කොහොමද මෙදා පාර අවුරුදු?
අවුරුදු කොහොමද කියලා ඇහැව්වහම අපි එදා ඉඳලාම කියන්නේ සරුයි කියලා තමයි. අපි පොසිටිව් තමයි ඒ දේවල්වලට උත්තර දෙන්නේ. මේ සැරෙත් අවුරුදු සරුයි. නමුත් ලෝකයේ අපි දන්නවා මේ වෙනකොට යුදමය කාරණා ටිකක්. ඒවාගේ බලපෑම් මේ වෙනකොට අපේ රටට ඇවිත් තියෙනවා. ඒත් එක්කම උෂ්ණාධික කාලගුණයක්. ඒකෙත් බලපෑමත් මේ වනවිට ඇවිත් තියෙනවා. ඒ වැඩකටයුතු කොහොම වෙතත් මිනිස්සු කවුරුවත් අවුරුද්ද අතහරින්නේ නෑ. ඉතිං අපිත් අවුරුද්ද අතහරින්නේ නෑ. අවුරුදු සරුයි.
මොනවද විශේෂ අවුරුදු වැඩසටහන්?
මේ සැරේ අලුත් අවුරුද්දට දෙරණ, ස්වර්ණවාහිනිය, ස්වාධීන රූපවාහිනී සේවය, ජාතික රූපවාහිනිය වැනි නාලිකා ගණනාවක අපි ප්‍රාසාංගික අංග වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඊට අමතරව මෑතකදී අපි ගීත ගණනාවක් රූගත කළා විශ්ව බාලසූරිය කියන දක්ෂ කලා ශිල්පියා සමඟ. එතකොට ඒ ගීත අපි මෙවර අවුරුද්දේදී නරඹන්න සලස්වන්න තමයි සූදානම් වෙනවා. එතැන ජනගී ඇසුරින් අපි නිර්මාණය කරපු ගීත ගණනාවක් තියෙනවා. මෙහි තියෙන විශේෂත්වය තමයි අපි මේ ගීත රූගත කරලා තියෙන්නේ හරියට ප්‍රසංගයක් නරඹනවා හා සමාන ලෙසයි. අපේ සංදර්ශන නරඹන්න උනන්දුවක් තියෙන සංදර්ශන නැරඹීමට හැකියාවක් නොමැති විවිධ පළාත්වල සහ රටවල්වල ජීවත්වන අයට ඒ ගීත රසවිඳීමේ හැකියාව ඇතිවයි රූගත කරලා තියෙන්නේ.
මෙදා පාර අවුරුද්ද ඔන්න මෙන්න තියෙද්දි නේද ලංකාවට ආවේ?
ඔව්නේ. මේ සැරේ පෙබරවාරි මාසයේ මෙල්බර්න්වල මගේ ශිෂ්‍යාවක් වුණු නදී තරංගාගේ උත්සවයට සහභාගි වුණා. එතැනින් පසුව ඩුබායිවලට යන්න වුණා අචලා දිල්රුක්ෂිගේ කලායතනයේ අග්නි පූජා දෙක වැඩසටහනට ආරාධිතයෙක් විදිහට සහභාගි වෙන්න. ඉන් අනතුරුව ආපහු අපේ කණ්ඩායම ඔස්ටේ්‍රලියාවට සහ නවසීලන්තයට ආවා අපේ කණ්ඩායම යක්කු බොලව් කියන ප්‍රසංග අටක් සඳහා. බොහොම සාර්ථකව සියලු සංදර්ශන අතුරුසිදුරු නැතිව සෙනගින් පිරීගිය සංදර්ශන අටක් පවත්වල තමයි මෙවර අවුරුද්දට ලංකාවට එන්නේ.

රන්වල බළකායෙන් මේ අවුරුද්දට දෙන පණිවිඩය මොකක්ද?
අවුරුද්දෙන් දෙන පණිවුඩ හතරක් තියෙනවා කියලා මට හිතෙනවා. එකක් ඇවිත් සාර්ථකත්වයේ පණිවුඩය. අපි සාර්ථක වෙන්න ඕනෑ ඒ සඳහා කොහොමද කාලය කළමනාකරණය කරගනිමින් වැඩකට පිවිසෙන්නේ කොහොමද? ආදී දේවල් අවුරුද්දෙන් දෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනෑ. ඊළඟ එක තමයි සෞභාග්‍යයේ පණිවුඩය. සාර්ථක වෙන්න නම් සෞභාග්‍යවීම හරිම වැදගත් වෙනවා. භවබෝග සැප සම්පත් කියන ඒවත් එක්ක තමයි සෞභාග්‍යය උදාවෙන්නේ. මේවා රටේ හැමෝටම තියෙනවා නම් රටේ හැමෝටම සෞභාග්‍ය උදාවෙනවා නම් සාමය උදාවෙනඑක ඉතාම සාමාන්‍යයක්. සාමය උදාවෙනවා කියලා කියන්නේ සෞභාග්‍යමත් පැත්තෙන් ආර්ථික පැත්තෙන් සාර්ථක ඕනෑම කෙනකුට තවකෙනකුට තරහක් හෝ පාගාදැමීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් අලුත් අවුරුද්දත් එක්ක අපි දන්නවා වැඩිහිටියෝ සහ අලුත් පරම්පරාව එකට වැඩකරනවා. සාමය කඩවෙන තැන් කියලා කියන්නේ පරම්පරා ගැටුම්. නැතිනම් පවුලේ ඇතිවෙන ගැටලු. අම්මලා ළමයි අතර යම් යම් හිත්නොහොඳකම් තියෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් තාත්තලා ළමයි අතර තියෙන ගැටලු අපි කොහොමද එවැනි ප්‍රශ්න නිරාකරණය කරගන්නේ. අලුත් අවුරුද්ද කියන්නේ අන්න එවැනි ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් අවස්ථාවක්. එහෙම බැලුවහම මේකේ සාමයේ පණිවුඩයකුත් තියෙනවා. මේ සියල්ලම එකතුවුණහම තමයි සතුටේ පණිවුඩය ලැබෙන්නේ. අලුත් අවුරුද්ද කියන්නේ සතුට. පොඩි ළමයිගේ පැත්තෙන් බැලුවොත් සතුට. තරුණ තරුණියන්ගේ පැත්තෙන් බැලුවොත් ඒ ගොල්ලන්ට වෙනදාට වැඩිය ඉඩකඩක් ලැබෙනවා සම වයසේ අයත් එක්ක ජීවිතයේ ආශ්වාදය කරන්න. තමන්ගේ සම වයසේ අයත් එක්ක වැඩකරන්න. ජන ක්‍රීඩා කරලා තමන්ගේ ශක්තිය පෙන්වන්න ඉඩකඩක් ලැබුණ අවස්ථාවක් තමයි අලුත් අවුරුද්ද කියන්නේ. ඒ හරහා සතුට අත්විඳිනවා. වැඩිහිටියොත් සතුට අත්විඳිනවා. මේ කාරණා එක්ක අපිට අපේ ජීවිතය අලුත් කරගන්න පුළුවන්. අලුත් පරම්පරාව ජන ගීයට ජන කවියට තියෙන නැඹුරුව මොන වගේද?
අලුත් පරම්පරාව කියලා කියන්නේ වර්තමාන කුඩා ළමයා සහ නව යොවුන් වියේ තරුණයෝ. මේ අය ගැන කියන්න සන්තෝසයි මීට දශක කිහිපයකට කලින් තරුණයෝ තුළ එහෙමන් නැතිනම් එවකට යෞවනයෝ තුළ තිබුණාට වඩා වැඩි උනන්දුවක් මේ දේවල් සම්බන්ධයෙන් තියෙනවා. ඒකට හේතුව සමාජ මාධ්‍ය, මාධ්‍ය ඔස්සේ ජන ගීයට යම් ඉඩක් වෙන්වීම කියලා හිතනවා. අපි දැන් දන්නවා රියැලිටි වැඩසටහන්වල වගේම ටික්ටොක් වගේ සමාජ මාධ්‍යවල සමහර කෙනෙක් නර්තනය ගායනය වගේ දේවල්වලට ජන ගීය ඇසුරෙන් දේවල් යොදාගන්නවා. ඒවා බොහොම ඉක්මනින් වෛයිරල් වෙනවා වගේම මිනිස්සු අතරට යනවා. මේක සතුටට කාරණයක්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තරුණයෝ මේවා වැලඳගෙන ඉන්නවා කියලා. ඒක කොයිකාලෙත් වුණේ නැහැනේ. හැම යුගයේම යම් කොටසක් දේශීය දේවල් වැලඳගනිද්දී තව කොටසක් හිටියා විජාතික දේවල් වැලඳගන්න. සුද්දත් එක්ක සටන් කරලා රට බේරාගත්ත කට්ටියත් හිටියා. තව කොටසක් හිටියා සුද්දා කියන දේ අනුව කරලා සුද්ද තමයි නිවැරදි කියලා හිතලා රට පාවාදුන්නු කොටසකුත් හිටියා. ඉතිං ඕක සදාතනික කාරණයක්. දේශීය දේවල්වලට කැමැති දේශීය දේවල් අගය කරන ඒවාට හානිකරන අකමැති පිරිසකුත් මේ තරුණ පරම්පරාව අතරත් ඉන්නවා.
මේ අවුරුදු කාලේ ගීතයට තියෙන ජනප්‍රියත්වය අදටත් අඩුවෙලා නැහැ නේද?
ලයනල් රන්වලයන් මේ අවුරුදු කාලේ ගීතය නිර්මාණය කරන්නේ ජයතිස්ස බොරළුගොඩ මහත්තයාගේ පද රචනාවක් පදනම් කරගෙන 1990 දශකයේ මුල්භාගයේදී. මේ ගීතය හදලා ටික ටික ජනප්‍රියතාවත් එක්කම තාත්තා බොරළුගොඩ මහත්තයත් එක්ක කියලා තියෙනවා ‘බොරළුගොඩ අපි නැති කාලෙක හරි මේ ගීතය මිනිස්සුන්ට අවුරුද්දට සිනහව කැන්දන්න සමත්කම් දක්වයි නේද?’ කියලා. බොරළුගොඩ මහත්මයා දවසක් මට කතා කරලාම ඒ කතාව කිව්වා. ඉතිං ඒ කතාව ඇත්තක් කියලත් හිතෙනවා. මොකද මේ නිර්මාණකරුවෝ දෙන්නම අද අපි අතර නැහැ. ඒත් මේ ගීතය ලංකාව පුරාත් ලෝකය පුරාත් දිනෙන් දින අලුත් පරම්පරාවත් එක්කත් එකතුවෙමින් ගීතය පාවිච්චි වෙනවා ඇහෙනවා. මේ ගීතය කොච්චර කල්ගියත් පරණ නොවෙන ගීතයක් බවට පත්වෙලා තියෙනවා. හැම පරම්පරාවම ආදරයෙන් වැලඳගන්න ගීතයක් බවට පත්වෙලා තියෙනවා. අවුරුද්දේ නොනිල නිල ගීතය බවට මේ අවුරුදු කාලේ දශක ගණනාවක් තිස්සේ පත්වෙලා තිබීම සන්තෝෂයට කාරණාවක්.
දැන් ඉන්න තරුණ තරුණියන්ට අවුරුදු ක්‍රීඩා ගැන ලොකු අවබෝධයක් නැහැ නේද?
අලුත් අවුරුදු ක්‍රීඩා ගැන අලුත් පරපුරට අවබෝධයක් නැහැ කියලා චෝදනා කරන එක වැරදියි. මොකද ඒ අයට කොතැනදී ද කොහේදී ද අවුරුදු ක්‍රීඩා සමීප කරවන්නේ. මොකද ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි අලුත් අවුරුදු කාලෙට ක්‍රීඩාවන් තියෙනවා ක්‍රීඩාවන් කරනවා තමයි. හැබැයි ඒවා මේ වෙනකොට පමණ ඉක්මවා අනුග්‍රාහකයන්ගේ අවශ්‍යතාවයන් හැටියට වෙනස් කරලා තියෙනවා. ස්වභාවිකව යමක් වෙනස් වෙනවාට වඩා අනුග්‍රාහක අවශ්‍යතා මතම යම් යම් දේවල් කරද්දී යම්කිසි ක්‍රීඩාවක තියෙන ක්‍රීඩාවේ අරමුණු පැත්තකට දමමින් අනුග්‍රාහක අරමුණු ඉදිරියට ඇවිත් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට මාධ්‍ය ඔස්සේ මේවා තරුණයන්ට ළඟාවෙන්නේ. මොකද මාධ්‍ය ඔස්සේ තරුණයන්ට දකින්න ලැබෙන්නේ නියම ජන ක්‍රීඩා නෙමෙයි. වෙනත් ආරක් ගත් වෙනත් වෙළෙඳ අරමුණුවලට පාවිච්චිවෙන ජන ක්‍රීඩා. මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ වෙළෙඳ අරමුණුවලට ජන ක්‍රීඩා පාවිච්චි කරන්න එපා කියලා නෙමෙයි. ඒවා තිබ්බාට කමක් නැහැ. හැබැයි ඒවා සීමාව ඉක්මවා ගිහිල්ලා මූලික ජන ක්‍රීඩා නැත්තටම නැතිවෙන තත්ත්වයට එක එක සමාගම්වල අවශ්‍යතා හැටියට මාධ්‍ය ආයතන මේවා පත්කරගෙන තියෙනවා. ඕනෑම දෙයක තියෙන්න ඕනෑ තුලනයක්. දැන් අවුරුදු හය හතක ඉඳලා බැලුවොත් ගිලිහීයමින් යන අවාසනාවන්ත තත්ත්වයක් තියෙනවා. ඒක ගැන අපි තරුණ පරම්පරාවට විතරක් fදාස් කියන එක වැරදියි. ඒකට පොදුවේ අපි කවුරුත් වගකියන්න ඕනෑ.
ළඟදි අලුත් නිර්මාණ කළේ නැතිද?
ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ මාත්‍රා ප්‍රසංගය වෙනුවෙන් අලුතෙන් නිර්මාණ දෙකක් පසුගිය මාස දෙකකට විතර කලින් කළා. ඒත් එක්කම චිත්‍රපටයකට සංගීතය සපයන්න සහ එහි ගීත නිර්මාණය කරන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒක මේ අප්‍රේල් මාසයේදී ආරම්භ කරන්නයි සූදානම.
ජන ගීය, ජන කවිය ගැන කතාබහ වෙන්නේ අවුරුදු කාලෙට විතරද?
ඔව්. එහෙමත් එකක් තියෙනවා. ජන ගී, ජන කවි වගේ දේවල් ගැන වැඩි අවධානය යොමුවෙන්නේ අවුරුදු කාලෙට. හරියට නිකං අපි මිහින්තලේ ගැන දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ, මුවා ගැන පොසොන් කාලෙට මතක් වෙනවා. එතකොට නත්තල් කාලෙට නත්තල් සීයා මතක් වෙනවා. එහෙම නැතිනම් ආගම දහම බෞද්ධ කෙනකුට මතක් වෙන්නේ පෝය දවසට නැතිනම් ඉරිදා දවසට. කැලැන්ඩරයත් එක්ක තියෙන බද්ධතාවයත් එක්ක සිද්ධවෙන දෙයක් බවට පත්වෙලා තියෙනවා. එක අතකින් ඒකේ වැරැද්දකුත් නැහැ. හැබැයි අපි ජන ගීය තුළින් ජාතික සංගීතයත් ඇතිකරගන්න ගන්න උත්සාහයේදී එක කාලෙකට විතරක් මේක සීමානොවී අපි කවදා පාවිච්චි කළත් කොහේ පාවිච්චි කළත් ශ්‍රී ලංකාවේ අනන්‍යතා සංගීතය සහිත සංගීතයක් ගේනඑක තමයි අපේ අරමුණ සහ උත්සාහය. ඉතිං ඒ ගමන යද්දී අවුරුද්දේ එක මාසයක් හරි දේශීය දේවල් ඇහෙනඑක හොඳයි. හැබැයි ඉතුරු මාස එකොළහෙත් ශ්‍රී ලංකා අනන්‍යතාවය අගයන එක ශ්‍රී ලංකා අනන්‍යතාවය සහිත ගනුදෙනු කරන එක අනාගත පරපුරට ඒක පවරන එක අපිට තියෙන වගකීමක්. ඊළඟ පරම්පරාවට පැවරීම අපි කාගේත් වගකීමක්. රන්වල පදනමේ වගකීමක් විතරක් නෙමෙයි කියලා විශ්වාස කරනවා. ඉතිං ඒකේ අපි නිරතවෙලා ඉන්නවා. මීට දශක දෙක තුනකට කලින් තිබ්බ තත්ත්වයට වඩා දැන් තත්ත්වය හොඳයි. අපි දකිනවා රියැලිටි වැඩසටහන්වල වේවා ජනප්‍රිය ටෙලිනාට්‍ය, චිත්‍රපට වගේ දේවල්වලත් ජන ගී පාවිච්චි වෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. තරුණ ජනප්‍රිය සංගීත කණ්ඩායම් සංගීත ශිල්පීන් තමන්ගේ නිර්මාණවලට ජනගීය පාවිච්චි කරනවා දකිනවා. ඒක තව ඉදිරියට වැඩිදියුණුවෙයි කියලා අපි තුළ බලාපොරොත්තුවක් තියෙනවා.
දිනේෂ් විතාන




















