සංජය මුරමුදලි සහ අපූර්වා ආශාවරි කියන්නේ මේ දිනවල බොහොම ජනප්‍රිය චරිත දෙකක්. පුංචි තිරයේ මේ දෙන්න ගැන මේ දවස්වල හරි හරියට කතාබහ වෙනවා. ඉතිං මේ අවුරුද්ද සංජය වගේම අපූර්වා එකතුවෙලා සමරන්නේ කොහාමද කියල දැනගන්න අපි ඒ දෙන්නට කතා කළා.
කොහොමද අවුරුද?
අවුරුදු හොඳයි. ගිය අවුරුද්දේ අවසාන කාලයේදී දිට්වා සුළි කුණාටුවත් එක්ක අපේ වැඩකටයුතු ටික පොඩ්ඩක් විතර එහෙට මෙහෙට වුණා. ඉතිං ඒකත් ජනවාරි මාසයේ ආපහු නැඟිටලා පෙබරවාරි, මාර්තු වෙනකොට හොඳ තත්ත්වයක් තිබුණා. නමුත් ලෝකයේ තියෙන යුදමය වාතාවරණය නිසා අපේ රටට ඇතිවෙලා තියෙන පොඩි පොඩි අගහිඟකම් එක්ක අවුරුදු කියන එක වෙනදාට වඩා අඩුවෙන් සමරන ගතියක් තියෙනවා. නමුත් අවුරුදු කොහොමත් හොඳයි. රට මොන තත්ත්වයක තිබුණත් මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම මොන තත්ත්වයක තිබුණත් හැමෝම තමන්ට පුළුවන් විදිහට අවුරුදු සමරනවා. ඒ වගේම මමත් සාමාන්‍ය විදිහට අවුරුදු සමරන්න බලාපොරොත්තු වෙනවා.
මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?
මෙදා පාර අවුරුද්දට සුපුරුදු පරිදි නාළිකාවල අවුරුදු වැඩසටහන් ටිකට සහභාගි වෙනවා. ඒවත් එක්ක තමයි ගොඩක් වෙලාවට කාලය ගතවෙන්නේ. අනික ඒ වගේ කාලයට තමයි කලාකරුවො එකතුවෙන්නෙත්. හරි සතුටින් ඒ වැඩසටහන්වලට එකතු වුණා වගේම ඉදිරියේදීත් එකතු වෙනවා. ඒ වගේම මගේ ගම හඟුරන්කෙත. මගේ පවුලේ අයත් එක්ක අවුරුදු සමරන්න බලාපොරොත්තු වෙනවා. කලා නිර්මාණ පැත්තෙන් පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන යනවා.
අවුරුද්දට ගමේ යනව?
ඔව්, අවුරුද්දට ගමේ තමයි කොහොමත්. හැම අවුරුද්දකදීම සිංහල අලුත් අවුරුද්ද කියන්නේ කොච්චර ගමෙන් දුර බැහැර හිටියත් තමන්ගේ ගමට ගිහිල්ලා අම්මලා තාත්තලා සහෝදර සහෝදරියො, නෑදෑයො, යාළු මිත්‍රයො එක්ක එකතුවෙන්න තමයි හිතාගෙන ඉන්නේ. මගේ ගම ආශ්‍රිතව ගොඩක් වෙලාවට අවුරුදු චාරිත වාරිත්‍ර කොළඹට වැඩිය හොඳින් දකින්න තියෙනවා. ගොඩක් වෙලාවට අවුරුදු කියන එක තියෙන්නේ ගම්වල. ගමට ආවාම තමයි අවුරුදු කියන හැඟීම දැනෙන්නේ. වෙනදා වගේම මෙදා පාරත් අවුරුද්දට ගමේ.
කොහොමද රඟපෑම් වැඩකටයුතු?
කිසිම වරදක් නැතිව රඟපෑම් වැඩකටයුතු කරගෙන යනවා. මේ දිනවල ස්වර්ණවාහිනියෙ විකාශය වන ‘මා’ ටෙලිනාට්‍යයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ‘අකුරට යන වෙලාවේ’ හිරු නාලිකාවේ විකාශය වෙනවා. ‘සංගීතේ’ ටෙලිනාට්‍යය දෙරණ නාලිකාවේ විකාශය වෙනවා. ‘ආලවන්ති’ ටෙලිනාට්‍යය සිරස නාලිකාවේ විකාශය වෙනවා. උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ‘මේඝ වර්ෂා’ චිත්‍රපටයේ වැඩකටයුතු සියල්ල අවසන් වෙලා තියෙනවා. කලා කටයුතුවල කිසිම අඩුවක් නැහැ.
ජනප්‍රියත්වය ගැන අදහස මොන වගේද?
ඇත්තටම සතුටුයි. ජනප්‍රියත්වය කියන එක ලේසියෙන් හම්බවෙන දෙයක් නෙමෙයි. ප්‍රසිද්ධිය වෙනයි. ජනප්‍රියත්වය වෙනයි. මොකද ප්‍රසිද්ධිය කියන එක ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම දෙයක් කරලා ගන්න පුළුවන්. හොඳ හෝ නරක මොනයම් ක්‍රියාවලියකින් හෝ ඒක ලබාගන්න පුළුවන්. ජනප්‍රියත්වය කියන එක ලැබෙන්නෙ හරි අඩුවෙන්. ජනප්‍රියත්වය කියන එක ලැබෙනවා වගේම ඒක රඳාපවත්වාගන්න එක තමයි ලොකුම අභියෝගය. හැබැයි මම හිතනවා 2015 වසරේ මගේ කලා ගමන ආරම්භයේ සිටම ප්‍රේක්ෂකයන්ගේ ආදරය එක විදිහට තියාගෙන හිටියා කියලා. මම කලාව කරන්නේ මගේ ආගමක් විදිහට සලකලා. ඒකට මගේ උපරිමයෙන් කැපවෙලා වැඩකරනවා. ඒ නිසා මම හිතන්නේ ජනප්‍රියත්වය කියන එක ලැබිලා තියෙනවා. ඉතිං ඒක අදටත් තියාගෙන ඉන්නවා. ඉස්සරහටත් මිනිස්සුන්ගේ ආදරය කියන එක ජනප්‍රියත්වය කියන එක පරිස්සමට පාවිච්චි කරන්න, පරිස්සටම බලාගන්න පුළුවන් තරම් කැපවෙනවා.
අපූර්වා ආශාවරි
කොහොමද අවුරුදු?
හොඳයි. වෙනදා වගේම පවුලේ අයත් එක්ක ලස්සනට සමරන්න තමයි හිතාගෙන ඉන්නේ.
අලුත් අවුරුද්දට ජනගීයක් කළේ නැද්ද?
මේ අවුරුද්දට නම් නැහැ. නමුත් ජනගීතය කියන්නේ සංගීතයේ මම ආසම ආරක්. ඉතිං ඉදිරියේදී ඒ ගැන පොඩි අධ්‍යයනයක් සිදුකරලා වගේම හැදෑරීමක් සිදුකරලා ලස්සන ජනගීතයක් කරන්න ආසාවෙන් ඉන්නවා.
අවුරුද්දට මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?
අවුරුදු දවස්වලට මම ආසම දෙයක් තමයි කැවිලි. මොකද ඒවා අවුරුද්දටම ආවේණික දේවල් නිසා හැමදාම කන්න හම්බවෙන්නෙත් නැහැ. හදන්න හම්බවෙන්නෙත් නැහැ. ඒවායේ සුවඳ විඳින්න හම්බවෙන්නෙත් නැහැ. මේ හම්බවෙන කාලෙට උපරිමයෙන් කැවිලිවල රසවිඳින්න වගේම පවුලේ අයත් එක්ක කාලය ගතකරන්න හිතාගෙන ඉන්නවා.
මේ දවස්වල මොකද වෙන්නෙ?
මේ දවස්වල ගායන කටයුතු, අධ්‍යාපන කටයුතු වගේම රංගන කටයුතුවල තමයි නියැළී ඉන්නේ. අප්‍රේල් මාසයෙන් පසුව අලුත් ගීතයක් එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. මේ දවස්වල ඒ ගීතයේ වැඩකටයුතු කරගෙන යනවා.
පහුගිය දවස්වල ඔබ ගායනා කළ ‘නුඹ දුන් ඒ…’ ගීතයට ලැබුණේ මොන වගේ ප්‍රතිචාරද?
ඒ ගීතය දැන් එළිදක්වලා ටික දවසක් වුණාට අදටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩාක් සතුටුයි.
දැන් රඟපෑමටත් වැඩිපුර කාලය වෙන්කරනවා?
රඟපෑමට වැඩිපුර කාලයක් වෙන්කරන්නේ නැහැ. ගායනයට තමයි මගේ වැඩිපුර කාලයක් යොමු කරන්නේ. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතුවලටත් වැඩිපුර කාලය යොදවන්න වෙලා තියෙනවා.
ගායිකාවක් විදියට පැමිණි ගමන ගැන දැනෙන හැඟීම මොන වගේද?
මගේ පවුලේ අයගේ වගේම මගේ අම්මාගේ මහන්සියෙන් තමයි මම මේ ගමන ආවේ. ඒ වගේම මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වුණේ රියැලිටි වේදිකාව. ටී. වී. දෙරණ නිසා තමයි මෙතුවක් කාලයක් මේ කේෂ්ත්‍රයේ රැඳී සිටින්නේ. එතැනින් පස්සෙ මේ ආපු ගමන ගැන ගොඩාක් සතුටුයි.
මහේෂ් එදිරිසිංහ
ඇඳුම් සහ හැඩගැන්වීම – අපූර්වා ආශාවරී
ඡායාරූපය – සජීව ලක්‍ෂාන්




















