BREAKING NEWS
Search

පාර්ලිමේන්තුවේ නරක වචන කියන මන්ත්‍රීවරුන්ට දඩුවම් දෙන්න – ඇමැති බිමල් රත්නායක කථානායකගෙන් ඉල්ලයි

12

අසභ්‍ය සහ පාර්ලිමේන්තුවට නුසුදුසු භාෂාව භාවිත කරන විපක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව, පියවර ගන්නා ලෙස සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (09) කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

විශේෂයෙන්ම විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියන් ඉලක්ක කර ගනිමින් අශෝභන ප්‍රකාශ සිදුකරන ආකාරය නිරීක්ෂණය වී ඇති බවත් මේවා සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදුකළ යුතු බවත් සභානායකවරයා සඳහන් කළේය.

එසේ වුවද විපක්ෂයේ මහජන නියෝජිතයන් කිහිප දෙනකුගේ හැසිරීම වළක්වා ගැනීම සඳහා පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ මැදිහත් වීම ප්‍රමාණවත් නොමැති බවත් එවැනි ක්‍රියා වළක්වා ගැනීම සඳහා පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය ද උපදෙස් ලබා නොදෙන බවත් සභානායකවරයා පැවසීය.

එබැවින් යම් සිදුවීමක් සිදුවූ විට පාර්ලිමේන්තුවට නුසුදුසු වචන ඉවත් කිරීම වෙනුවට එලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීම සිදුවිය යුතු බව ද සභානායකවරයා පැවසීය.

සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සිදුකළ අදහස් දැක්වීමෙන් පසුව ඇතිවූ සංවාදයට එක්වෙමිනි.

සදාචාරය පිරිහීම සහ අසභ්‍ය භාෂාව භාවිත කිරීමට එරෙහිව ස්ථාවර නියෝග යටතේ දැඩි දඬුවම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව ද සභානායකවරයා අවධාරණය කළේය.

එවැනි පාර්ලිමේන්තු විරෝධි ප්‍රකාශ සියල්ල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බවත්, සභානායකවරයා මතු කළ කාරණය කථානායකවරයාගේ අවධානයට යොමු කරන බවත් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා:

“චමින්ද විජේසිරි මහතා කිව්වා, ආණ්ඩු පක්ෂයේ නංගි කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා වැසිකිළි හෝදන කියලා. නියෝජ්‍ය කථානායකතුමනි, කවුද මේ කතා කරන කෙනා. මේ කතා කරන කෙනා තමයි වැසිකිළි කට. මේ කතා කරන කෙනා තමයි තමන්ගේ මන්ත්‍රී ධුරය සල්ලිවලට විකුණුවේ. ප්‍රජාතන්ත්‍රවාදය විකුණුවේ. ටොයිලට් වළක් ගිලපු කෙනෙක් අපේ පැත්තට චෝදනා කරනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:

“කක්කුස්සියක් ගිලපු එකෙක් කියලා මන්ත්‍රීවරයකුට ප්‍රකාශ කිරීම එතරම් සුදුසු නැහැ. හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස මම ඉල්ලනවා. ඒ වගේම අවලස්සන කියන එක දෙපැත්තටම තිබෙනවා. ඒක වැරදියි.”

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා:

“හර්ෂ ද සිල්වා මැතිතුමනි, පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැළපෙන සියලු වචන ඉවත් කරනවා.”

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා:

“එහෙමනම් මන්ත්‍රීතුමනි, අපේ පැත්තට චෝදනා කරනකොටත් දෙපාරක් හිතන්න ඕන.”

සභානායක,

“නියෝජ්‍ය කථානායකතුමනි, මම ස්තූතිවන්ත වෙනවා, පාර්ලිමේන්තුවට නොගැළපෙන වචන ඉවත් කරන ලෙස දැනුම් දීම සම්බන්ධයෙන්. මම දැනගන්න කැමැතියි මෙතැන ඉතාමත් කැත විදිහට කතා කරන විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඒ වෙලාවට ඔබතුමාලා අන්පාර්ලිමන්ට්‍රි කියලා කියන්නේ නැහැනේ.

මෙතැන මන්ත්‍රීවරියන්ට ඉතාම කැත විදිහට කතා කරනවා මන්ත්‍රීවරු. ලේකම් මණ්ඩලය කටවහගෙන බලාගෙන ඉන්නවා. එක වචනයක් නැහැ. මම කියන්නේ එක මන්ත්‍රීවරයෙක් අතන ඉන්නවා හැමදාම අතන ඉඳන් කුණු කතා කියනවා. ඔබතුමාලා මොනවද කරන්නේ.”

නියෝජ්‍ය කථානායකවරයා,

“සභානායකතුමනි, පාර්ලිමේන්තුවට නොගැළපෙන සියලුම වචන ඉවත් කරන්නේ. නියෝජ්‍ය කථානායකතුමනි, මේවා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා දඬුවම් දෙන්න ඕන.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *