අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණික තත්ත්වයේ වෙනසක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.
අද සවස 2.00 න් පසුව ප්‍රදේශ ගණනාවකට වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක් පවතින බවයි වාර්තා වන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව යන පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර, වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතී.
එබැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.




















