ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීම හේතුවෙන් විදුලි උත්පාදනයේදී සිදුවන අතිරේක වියදම් කිසිදු ලෙසකින් පාරිභෝගිකයාගේ විදුලි බිලට එකතු නොකරන බවත්, එම පාඩුව අදාළ සැපයුම්කාර සමාගම්වලින්ම අයකර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ගල් අඟුරු බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 900ක් වුවද, අභ්‍යන්තර කාර්යක්ෂමතාව සඳහා වැයවන ප්‍රමාණය අඩු වූ පසු පද්ධතියට ලැබෙන්නේ මෙගාවොට් 810ක් පමණක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඇතැම් අවස්ථාවල මෙම ධාරිතාව නිසි පරිදි උත්පාදනය නොවන බවත්, එය ටෙන්ඩර් පටිපාටියේ ගැටලුවක් නොව සැපයුම්කරු නියමිත ප්‍රමිතියට ගල් අඟුරු ලබා නොදීම නිසා සිදුවන්නක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ගල් අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, නැව්ගත කිරීමට පෙර ලැබෙන පරීක්ෂණ වාර්තා මත පදනම්ව මුලින් 80%ක ගෙවීමක් සිදුකරන බවයි.
අනතුරුව ඉන්දියානු පරීක්ෂණාගාරයක් මගින් සිදුකරන දෙවන පරීක්ෂණයෙන් පසු ඉතිරි 20%ක ගෙවීම තීරණය කරන බව ඔහු සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට ඩීසල් භාවිත කිරීමට සිදුවන්නේ නම්, එම අතිරේක පිරිවැය සමාගම් හරහාම අයකර ගන්නා බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
මේ වන විටත් ඇතැම් සමාගම් සඳහා දඩ (Penalties) පනවා ඇති බවත්, ඒ අනුව ඩොලර් 98ක් වූ ගල් අඟුරු ටොන් එකක මිල ඩොලර් 64 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු අනාවරණය කළේය.
කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම, ෆර්නස් ඔයිල් පිරිවැය සහ ජල මට්ටම පහළ යාම වැනි සාධක විදුලි බිල කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
‘මේ ගල් අගුරුවල ප‍්‍රමිතියේ ප‍්‍රශ්ණයෙක් තිබෙනවා. තමුන්නාන්සෙලට කියන්න කැමතියි ගල් අගුරු නිවැරදිද නැද්ද කියල බලන්නෙ මම හෝ කවුරුවත් කාල හපල නෙමෙයි’



















