අනුන්ගේ දේකට වඩා තමන්ගේ ගෙදරම නිධානයක් ඇතැයි සිතා අමුතුම ආකාරයේ මෙහෙයුමක් දියත් කළ පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අංජනම් එළියකින් බලා නිවස තුළ කැණීම් කරමින් සිටි ත්‍රි රෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ මුළු ප්‍රදේශයම මවිතයට පත් කරමිනි.
කහතුඩුව, වෙනිවැල්කොළ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සිය බිරිඳ සහ දරුවන් පවා නිවසින් පලවා හැර ඇති අතර, පසුව වෙළඳසැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගේ සහාය ඇතිව නිවස තුළ නිධානයක් සෙවීම ආරම්භ කර තිබෙනවා. අසල්වාසීන්ට සැකයක් ඇති නොවන ලෙසත්, කැණීම් කරන ශබ්දය පිටතට නොඇසෙන ලෙසත් මොවුන් කර ඇති උපක්‍රමය සැබවින්ම පුදුම සහගතයි. ඔවුන් බෆල් යන්ත්‍රයක් ආධාරයෙන් නිවස තුළ දිගටම පිරිත් වාදනය කරමින් මෙම හොර රහස් මෙහෙයුම සිදු කර තිබෙනවා.
පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාව වන විට නිවසේ සාලය මැද අඩි 18ක පමණ අතිවිශාල වලක් හාරා තිබූ බවයි වාර්තා වන්නේ. එම වල තුළට බැසීමට උදලු, සවල්, යකඩ ඉනි මෙන්ම ගල් විදීමට යොදාගන්නා ඩ්‍රිල් මැෂින්, කැපෙන කටු සහ පිහි පවා ඔවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා. නිධන් ලබා ගැනීමට අවශ්‍ය මල් පහන් සහ සුවඳ දුම් පවා එහි සූදානම් කර තිබූ බවයි පැවසෙන්නේ.
පොලිසිය නිවස වටලන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා විදුලි ආලෝකය මධ්‍යයේ වල පතුළේ කැණීම් කරමින් සිට ඇති අතර, අඩි 18ක් ගැඹුරට හෑරූ මෙම වල තුළ තිබී රසදිය පවා හමුවී ඇති බවයි වාර්තා වන්නේ. නිධානයක් ලබාගෙන එක රැයකින් කෝටිපතියන් වීමට ගිය මේ දෙදෙනාට අවසානයේ සිදුවූයේ හිරගෙදර ලැගීමටයි.
සමාජ මාධ්‍ය ඇසුරෙන්

















