BREAKING NEWS
Search

ක්‍රිකට් තරගයක ආරවුලකදී සිදුවූ පහරදීමකින් 11 වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට

73
පාසල් ක්‍රිකට් තරගයක් අතරතුර ඇති වූ ආරවුලක් මත සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ බව කියන 11 වන ශ්‍රේණියේ සිසුවෙකු කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ මියගොස් ඇති බව රෝහල් පොලිසිය පවසනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මත්තල, උඩමත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 16ක සිසුවෙක්.

මියගිය සිසුවා පසුගිය 23 වන දින සිය නිවසේ නාන කාමරය තුළ වැටී සිටියදී දෙමාපියන් විසින් රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ හිසෙහි බරපතළ තුවාල පැවතීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ජාතික රෝහල වෙත මාරු කර යවා තිබු බවයි වාර්තා වන්නේ.

සිය පුතා රෝහල්ගත කළ දිනයේම මත්තල පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් මියගිය සිසුවාගේ මව සඳහන් කර ඇත්තේ, පාසලේ පැවැති ක්‍රිකට් තරගයක් අතරතුර ඇති වූ සිදුවීමක් මුල් කරගෙන එම විද්‍යාලයේම 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු තම පුතාට පහර දී ඇති බවයි.

පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, අදාල පහරදීම සිදු වූ බව කියන දින මියගිය සිසුවා පාසලේ කාලපරිච්ඡේද හතරක් ඉගෙනුම ලබා ඇති බවයි.

ඉන් අනතුරුව ඔහු සිය පාපැදියෙන්ම නිවස බලා ගොස් ඇති අතර, පසුව නිවසේ නාන කාමරය තුළ වැටී සිටියදී හමු වී ඇතැයි පොලිසිය පවසනවා.

මේ වන විට පහරදුන් බව කියන සිසුවා සහ පන්තිභාර ගුරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි මත්තල පොලිසිය පවසනවා.

සැකකාර සිසුවා පොලිසිය වෙත කැඳවා ඇති අතර, මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

මත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *