නීති විරෝධී ලෙස පෙට්‍රල් ලීටර් 48ක් සිය නිවෙසේ සඟවා තබාගෙන අලෙවි කිරීමට තැත් කළ බවට චෝදනා ලැබූ කාන්තාවක් ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකවැරටිය වැඩබලන මහේස්ත්‍රාත් ජේ. එම්. විමලසේන ඊයේ (28) නියෝග කළා.
නිකවැරටිය හුලුගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය ගිරිඋල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ගිරිඋල්ල පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සැකකාරියගේ නිවසේ රහසිගතව පෙට්‍රල් අලෙවි කරන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේදී මෙම පෙට්‍රල් තොගය සොයාගත් බවයි.
එම අවස්ථාවේදී සැකකාරියගේ සැමියා නිවසින් පලාගොස් ඇති අතර, සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 48ක් පොලිස් භාරයට ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ උදයංග අතපත්තු සඳහන් කළේ තම සේවාදායිකාව අධිකරණයට ඉදිරිපත් කරන්නේ නීතියේ පවතින කුමන ප්‍රතිපාදනයක් යටතේ දැයි නිශ්චිතව ප්‍රකාශ කිරීමට පවා පොලිසිය අසමත්ව ඇති බවයි.
1979 අංක 34 දරන ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම විධිමත් කිරීමේ හා පාලනය කිරීමේ පනතේ ප්‍රතිපාදන උපුටා දක්වමින් නීතිඥවරයා කියා සිටියේ, පාරිභෝගිකයෙකුට පෙට්‍රල් සන්තකයේ තබා ගැනීම නීතිමය වරදක් නොවන බවයි.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.




















