මඩකලපුව, නෙල්ලික්කාඩු ප්‍රදේශයේදී වෙල්යායක පාළු ළිඳක වැටී සිටියදී කාන්තාවක් සහ එම ළිඳෙන් කාන්තා මළ සිරුරක් සොයාගත් සිද්ධියේ සුලමුල හෙළිකර ගැනීමට පොලීසියට හැකිව තිබේ.
මෙම සිද්ධියට අදාළව දිස්ත්‍රික් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේ දී කාංචිරම්කුඩා ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් සහ ස්වාමිපුරුෂයාගේ සහෝදරයෙකු (මල්ලි) අත්අඩංගුවට ගෙන ඇත.
ළිඳේ සිටි කාන්තාව හා එම ළිඳෙන් හමුවූ කාන්තා මළ සිරුර යන සිද්ධීන් දෙකටම ඔවුන් සම්බන්ධ බවට මෙහිදී අනාවරණය වී තිබේ.
සමස්ත සිදුවීම….
ඉකුත් බ්‍රහස්පතින්දා (19) වවුනතිව් සිට මඩකලපුව නගරය බලාගිය තරුණ මවක් සහ වයස අවුරුදු දෙක හමාරක දරුවෙකු අතුරුදන්ව තිබුණි.
පසුදින තරුණ මව පාළු ළිඳකට දමා සිටියදී බේරාගත් අතර, ඇයගේ දරුවා අසල වෙල්යායක සිටියදී ඊට පසුදින (20) සොයාගන්නා ලදී.
එහිදී එම ළිඳ තුළම තිබී කාන්තා මළ සිරුරක්ද හමු විය.
දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ කොක්කටිචෝලෙයි, වවුනතිව්, ආයිත්තියමලෙයි, වෙල්ලාවෙලි සහ මඩකලපුව මූලස්ථාන පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම විශේෂ අපරාධ විමර්ශන අංශය සහ දිස්ත්‍රික් බුද්ධි අංශය එක්ව CCTV දර්ශන පරීක්ෂා කරමින් මෙම සිද්ධියට අදාළ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව ඊයේ (21) රාත්‍රී 7ට පමණ වන්තාරුමූලෙයි ප්‍රදේශයේ නිවසක් වටලා, එහි සිටි 26 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇයගේ ස්වාමිපුරුෂයා වන 34 හැවිරිදි පුද්ගලයෙක්, ඔහුගේ 22 හැවිරිදි සහෝදරයෙකු වවුනතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පවසා ඇත්තේ දරුවා සමග බස් රථයක් එනතුරු බලා සිටි තරුණ මව රුපියල් 100ක මුදලකට මඩකලපුව නගරයට ඇරලවන බව පවසා ත්‍රිරෝද රථයට නංවාගත් බවය.
පසුව ඇය උකස් කළ රන් ආභරණ මුදාගැනීම සඳහා නගරයට ගිය අවස්ථාවේදී සැකකාරිය ඇය පසුපස ගොස් තිබේ.
ඇතිකරගත් හිතවත්කම මත එහිදී ඇයට පළතුරු යුෂ පානයකට මත්වන ද්‍රව්‍යයක් මිශ්‍රකර ලබාදී තරුණ මව සිහිමුර්ජා කර, ඇය සතු පවුම් 5ක තැල්ල, පවුමක රන් මාලය කොල්ලකා ඇත.
අනතුරුව දරුවා වෙල්යායකට දමා, සිහිසුන්ව සිටි මව තාන්තමලෙයි නෙල්ලික්කාඩු ප්‍රදේශයේ පාළු ළිඳට දමා සැකකරුවන් පළා ගොස් ඇත.
කොල්ලකෑ රන් ආභරණ උකස් කර ඔවුන් මුදල් ලබාගෙන තිබේ.
ළිඳේ තිබී හමු වූ අනෙක් කාන්තා මළ සිරුර ද මොවුන් විසින්ම මෙම කාන්තාවට සිදුකළ ආකාරයටම මත්වන ද්‍රව්‍යයක් ලබාදී රන් ආභරණ කොල්ලකා පසුව ළිඳට දැමූ කාන්තාවක් බව එහිදී පවසා ඇත.

















