බදුරලිය – කෙලින්කන්ද මාර්ගයේ ධාවනය වූ ලංගම බස් රථයකදී කිසිවෙකුත් නොසිතූ අන්දමේ දරුණු ප්‍රහාරයක් ඊයේ (09) දහවල් වාර්තා වුණා.
තමන්ගේ දියණිය බස් රථයට නංවා නොගත්තැයි ඇතිවූ කේන්තියක් දුරදිග ගොස්, වියරු වැටුණු පියෙකු විසින් ලංගම කොන්දොස්තරවරයෙකුට කැත්තකින් කොටා බරපතල තුවාල සිදුකර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් අවාසනාවන්ත ලෙස තුවාල ලබා ඇත්තේ මතුගම ඩිපෝවට අනුයුක්තව සේවය කරන, 45 හැවිරිදි අසිත උක්වත්ත නමැති කොන්දොස්තරවරයායි.
බස් රථයේ රියදුරු පවසන පරිදි, ගැටුම ආරම්භ වී ඇත්තේ ඊයේ උදෑසනයි. මතුගම සිට කෙලින්කන්ද බලා ධාවනය වූ බස් රථයට සැකකරුගේ දියණිය නංවා නොගැනීම සම්බන්ධයෙන් සැකකරු මුලින්ම බහින්බස් වීමක් ඇති කරගෙන තිබෙනවා.
පසුව එදිනම දහවල් 2.15ට පමණ බස් රථය නැවත එම ස්ථානයට පැමිණි විට, පෙර මඟ රැක සිටි සැකකරු රියදුරු සමඟ යළිත් රණ්ඩුවකට පැටලී තිබේ.
වියරු වැටුණු සැකකරු තමන් සන්තකයේ තිබූ කැත්තක් ගෙන රියදුරුට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී, එය වැළැක්වීමට මැදිහත් වූ කොන්දොස්තරවරයාට දරුණු කැති පහර වැදී තිබෙනවා. ප්‍රහාරයෙන් පසු රුධිරය වහනය වෙමින් සිටි කොන්දොස්තරවරයාව යතුරුපැදියක් ආධාරයෙන්ව හාම බදුරලිය රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ බදුරලිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


















