BREAKING NEWS
Search

පුංචි බටයකින් පටන් ගත් රණ්ඩුව කෙළවර වුණේ මෙහෙමයි දරුවන් තිදෙනෙකුට පියෙක් අහිමි කළ මටුකැලේ ගැටුම

103
කුඩා ජල නළයකින් පටන් ගත් ආරවුලක් අවසානයේ මිනීමැරුමකින් කෙළවර වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ.
හැටන්, රුවන්පුර මටුකැලේ ජනපදයේ පවුල් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් 39 හැවිරිදි තිදරු පියෙකු ඊයේ (27) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය පවසන පරිදි මේ මුළු ගැටුමටම මුල් වෙලා තියෙන්නේ ජනපදයේ පදිංචිකරුවන්ට ලබා දී තිබෙන පානීය ජල සැපයුමයි. ජලය බෙදාගැනීම සම්බන්ධයෙන් පැන නැගුණු පොඩි බහින්බස්වීමක් දුරදිග ගිහින් තිබුණේ පසුගිය 24 වැනිදා.

අවස්ථා කිහිපයකදීම දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරු වී ඇති අතර, එය පාලනය කරගත නොහැකි වූ තැන දරුණු ගුටි කෙළියක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ හයදෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළත්, ඒ අතරින් තිදරු පියාගේ තත්ත්වය අසාධ්‍ය වූ නිසා ඔහුව මහනුවර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණා.

දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු ඔහු, ඊයේ රාත්‍රියේ අවසන් හුස්ම හෙළා තිබෙන්නේ තමන්ගේ දරුවන් තිදෙනා සහ බිරිඳ මෙලොව තනි කරමින්. මියගිය පුද්ගලයාගේ සොහොයුරාද තවමත් දික්ඔය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ හැටන් පොලිසිය, ගැටුමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් එළඹෙන මාර්තු මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර තිබෙනවා.

ඉතිරි සැකකරුවන් දැනට රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *