ඉන්දීය ක්‍රිකට් පිටියේ “Big Hitter” විදියට අපි කවුරුත් ආදරය කරන රින්කු සිංගේ පියා, ඛාන්චන්ද් සිං අද (27) අලුයම මෙලොවින් සමුගෙන තිබෙනවා.
වසර කිහිපයක් තිස්සේ ඔහු අක්මා පිළිකාවකින් පීඩා විඳිමින් සිටි බවයි වාර්තා වෙන්නේ.
විස්සයි විස්ස ලෝක කුසලානයට ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් සිටි රින්කු, පියාගේ තත්ත්වය අසාධ්‍ය බව දැනගත් වහාම මීට දින කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණියා. ග්‍රේටර් නොයිඩා හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පියා අසල රින්කු රැඳී සිටියේ දැඩි සංවේගයෙන්.
පියා බැලීමට ගිය රින්කු ඊයේ පැවති සිම්බාබ්වේ තරගය සඳහා නියමිත වේලාවට කණ්ඩායම සමඟ එක්ව සිටියා. නමුත් පියාගේ අසනීප තත්ත්වය සහ පෞද්ගලික හේතූන් මත ඔහුව ක්‍රීඩා කරවන්නේ නැතිව, ඒ වෙනුවට සංජු සැම්සන්ව කණ්ඩායමට ඇතුළත් කිරීමට කළමනාකාරිත්වය තීරණය කර තිබුණා.
රින්කු සිංගේ සාර්ථකත්වය පිටුපස තියෙන්නේ හරිම අහිංසක කතාවක්. ඔහුගේ පියා අලිගාර්හි LPG ගෑස් සිලින්ඩර බෙදාහරින්නෙක්. * අන්ත අසරණකම මැද වුණත්, තමන්ගේ රස්සාව කරමින් පුතාට ක්‍රිකට් ගහන්න අවශ්‍ය හැමදේම ඔහු සපයා දුන්නා.
රින්කු කෝටිපති ක්‍රීඩකයෙක් වුණාට පස්සෙත්, ඔහුගේ පියා තමන්ගේ පැරණි රැකියාව අත්හැරියේ නැහැ. ඒ තරමටම ඔහු නිහතමානී මිනිසෙක්.


















