24 හැවිරිදි තරුණියකට අමානුෂික අයුරින් පහරදී ඝාතනය කළ පෙම්වතා බව කියන විවාහක පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බව අඟුලාන පොලිසිය පවසනවා.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වාද්දුව කුඩා වස්කඩුව, ලිපිඩන්ස්වත්ත පදිංචිව සිටි හේශලා කාවින්දි සිල්වා (24) නමැති තරුණියයි.
විවාහක පුද්ගලයෙකු වූ පලා ගිය සැකකරු බිරිඳගෙන් වෙන්ව ජීවත් වන අතර මිට අට මසකට පමණ ඉහත සිට මෙම තරුණිය හා සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
දැඩිව මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ සැකකරු තරුණියව ද ඒ සඳහා යොමු කරගෙන ඇති අතර ඒ හේතුවෙන් තරුණියගේ දෙමාපියන් ඇයව නිවසට ගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබූ බව පොලිසිය පවසනවා.
අගුලාන සයුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක සැකකරුගේ සහෝදරයෙක් ජීවත් වන අතර මව ඒ ආසන්නයේ තවත් නිවෙසක ජීවත් වන බවත් සැකකරු තරුණියට ආහාර පවා ලබා දෙන්නේ මවගේ නිවසින් හෝ සහෝදරයාගේ නිවසින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
මොවුන් දෙදෙනා ඉකුත් 26 වෙනිදින සවස් කාලයේ සයුර මහල් නිවාස සංකීර්ණයේ ජී කොටසේ රැඳී සිට ඇති අතර ජී කොටසේ අටවෙනි ඉහළ මහලේ කොන්ක්‍රීට් තට්ටුව මත දි දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සැකකරු කොස්සකින් සහ අතින් පයින් තරුණියට අමානුෂික ලෙස පහරදී පලා ගොස් තිබුණා.
තරුණියක් කොන්ක්‍රීට් තට්ටුව මත වැටී සිටින බවට පසුදින දහවල් කාලයේ ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එහි ගොස් සිදු කළ විමර්ශනවලදී එම තරුණිය මිය ගොස් ඇති බවට අනාවරණය වූයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වීමට පොලිසිය කටයුතු කළා.
තරුණියගේ මුළු ශරීරය පුරා තැනින් තැන තැලීම් තුවාල රැසක් සහ ශරීරය නිල් පාට වී ඇති අයුරු දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කරනවා.
මෘත ශරීරය කලුබෝවිල ශික්‍ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
අගුලාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාද බණ්ඩාරගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ආර්. පි. ඊ. චතුරංග ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා.




















