ලොව ප්‍රථම වතාවට හඳුන්වා දුන් නීතියට අවනතන වෙමින් මෙටා සමාගම විසින් ඕස්ට්‍රේලියාවේ ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් 550,000ක් පමණ වසා දමා තිබෙනවා.
මෙම තීරණය යටතේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට අයත් යැයි විශ්වාස කෙරෙන ඉන්ස්ටග්‍රෑම් ගිණුම් 330,000ක්, ෆේස්බුක් ගිණුම් 173,000ක් සහ ත්‍රෙඩ්ස් ගිණුම් 40,000කට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇති බව මෙටා සමාගම සිය බ්ලොග් සටහනක දක්වා තිබෙනවා.
නව නීතියට අනුව, ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සේවාවන් විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සිය සමාජ මාධ්‍ය වේදිකාවලින් බැහැරව තබාගත යුතුයි.
එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5ක් (ඇමරිකානු ඩොලර් මිලියන 33ක්) දක්වා විශාල දඩයකට මුහුණ දීමට එම සමාගම්වලට සිදුවනවා.
සමාජ මාධ්‍ය මගින් සිදුවන හානි පිළිබඳව වර්ධනය පැමිණිලිවලට ප්‍රතිචාර වශයෙන් මෙවැනි දැඩි මර්දනයක් දියත් කළ ලොව ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී රට බවට ඕස්ට්‍රේලියාව පත්ව තිබෙනවා.
මෙටා සමාගම පවසන්නේ තමන් මෙම නීතියට අනුකූලව කටයුතු කිරීමට බැඳී සිටින බවයි.
කෙසේ වෙතත්, මෙවැනි සම්පූර්ණ තහනමක් වෙනුවට, ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය සුරැකෙන, දරුවන්ගේ වයසට ගැළපෙන අත්දැකීම් අන්තර්ජාලය තුළ ලබා දීම සඳහා සමස්ත ක්ෂේත්‍රයම දිරිමත් කරන වඩාත් යහපත් ක්‍රමවේදයක් සොයා ගැනීමට ඕස්ට්‍රේලියානු රජය මැදිහත් විය යුතු බව ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.




















