BREAKING NEWS
Search

ඇළට වැටුණු අවුරුදු දෙකක දරුවා මියයයි. මව වැඩිමහල් දියණියට දරුවා බලාගන්න දී අවුරුදු උත්සවය බලන්න ගිහිං

621

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙකක් පමණ ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් අනතුරුව මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද ජයවික්‍රමගම මහවැලි සිංහපුර ඉසුරු ජයනාත් බණ්ඩාර යන දරුවකු බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

මව අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා, මෙම දරුවා වැඩිමහල් දියණියට භාරදී ගිය අවස්ථාවේදී දරුවා නිවස පිටුපස තිබෙන කෙත්තලට වැටීම් කිලෝමීටර් දෙකක් පමණ දුරටත් ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලක සේවයකයකු දරුවෙකු ගසාගෙන යන අයුරු දැක පිරිසක් එක්ව එම දරුවා ගොඩ ගෙන හදිසි ගිලන් රථ සේවය මගින් වැලිකන්ද රෝහලට ඇතුළත් කොට තිබේ.

එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

දරුවා අනතුරට පත්වන මොහොතේ ඔහුගේ පියා ගෙවත්ත පිටුපස ගව ගාලට ගොස් ඇති අතර වැඩිමල් සොයුරිය මුළුතැන් ගෙයි වැඩකරමින් සිට ඇති බව ඒ පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකෙරු වැලිකන්ද හදිසි මරණ පරීක්ෂක වයි.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *