අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව නැහැ – අධ්‍යාපන ඇමති

149

රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් සඳහා මෙවර අගෝස්තු මාසයේ දී නිවාඩුවක් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව නොවැම්බර් මාසයේ අවසානය දක්වා පාසල් අඛණ්ඩව පැවැත්වෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම, දැනට ක්‍රියාත්මක සතියකට දින 3 ක් පමණක් පාසල් පැවැත්වීමේ ක්‍රමවේදය නුදුරේදීම ඉවත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ප්‍රධාන විෂයන් 24ක් සඳහා පළාත් අන්තර් සම්බන්ධීකරණයක් සහිතව විශ්වවිද්‍යාල පද්ධතිය මගින් පුහුණු සැසි පවත්වන අතර, පසුගිය දෙවසරක කාලය තුළ රට තුළ පැවති කොරෝනා තත්වය සහ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුකොටගෙන නිසියාකාරව අධ්‍යාපන කටයුතු කරගත නොහැකිවූ දරුවන් ඉලක්ක කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.

ඒ අනුව සැකසෙන මූලික පොදු පසුබිමක් යටතේ සැප්තැම්බර් මස මුල සිට පන්තිකාමර තුළ කණ්ඩායම් ක්‍රමයකට අනුව ප්‍රශ්නෝත්තර සහිත අතිරේක ඉගැන්වීම් මගින් විභාගයට සිසුන් සූදානම් කිරීමට ගුරුවරුන්ට හැකියාව ලැබෙනු ඇති.

ප්‍රමාද වූ 5 ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 පැවැත්වීමෙන් පසු උසස්පෙළ විභාගය ද නොවැම්බර් 28 සිට දෙසැම්බර් 23 දක්වා කාලය තුළ පැවැත්වීමටත් ඒ අනුව ලබන සඳුදා සිට නිවාඩු නොමැති ව නොවැම්බර් මස අග වන තෙක් පාසල් පවත්වමින් අතපසු වූ අධ්‍යයන කටයුතු ආවරණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එමෙන් ම 1,2 ශේණිවල ප්‍රාථමික අධ්‍යාපනය අහිමිව 3 ශේණියට පිවිසෙන දරුවන්ගේ පවත්නා සාධනීය මට්ටම් හඳුනාගැනීමට විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මේ වන විටත් සමීක්ෂණ සිදු කර ඇති අතර එම වාර්තා මත පදනම් ව එම සිසුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සැලසුම් කරන බව ද අමත්‍යවරයා කියසිටියා.

මෙහි දී පාසල් ප්‍රවාහනය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘සිසුසැරියට‘ අමතර ව ‘පාසල් සේවය‘ නමින් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා පෞද්ගලික බස් රථ යොදාගනිමින් බස් රථසේවයක් ලබන සඳුදා වනවිට දීපව්‍යාප්ත ව ධාවනයේ යෙදවීමට අපේක්ෂා කරන බව සඳහන්ය කළා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *