ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(10) මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය හේතුව වජිර අබේවර්ධන විසින් මෙහිදී විස්තරාත්මකව කරුණු පැහැදිලි කළා
2025 අගෝස්තු මාසේ 22 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට එන්න කියන්න කියනවා. එතුමා ප්‍රකාශය ලබාදුන්නාට පස්සේ එතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට අරගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරනවා.
රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගියේ 2025 අගෝස්තු 22 වැනිදා උදෑසන 9:30 ට පමණ. ඒ අවස්ථාවේදී පැය පහකට, හයකට ආසන්න කාලයක්, දවල් 1:30 වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ තියාගන්නවා. එතනින් පස්සේ, එතුමාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා සවස 3:00 ට පමණ. ඊට පස්සේ එතැන් සිට අධිකරණයේ පැය අටකට අධික කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා උසාවියට ඉදිරිපත් කිරීම ගැන විනිසුරුවරයා කරුණු සලකා බලමින් තිබුණා. පසුව රාත්‍රී 8:00 ට පමණ විදුලිය විසන්ධි වෙලා පැයකට අධික කාලයක් විදුලිය නොමැතිව තිබුණා. එවැනි තත්ත්වයකට පසුව මහේස්ත්‍රාත්වරයා විසින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගෝස්තු මාසේ 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රාත්‍රී 10:00 ට පමණ තීන්දුවක් ලබාදෙනවා.
දැන් ඒ තීරණයෙන් පස්සේ උසාවි භූමියෙන් රාත්‍රී 10:30 ට පමණ රනිල් වික්‍රමසිංහ මහතා මැගසින් බන්ධනාගාරය වෙත අරගෙන ගියා. එපමණක් නෙවෙයි, මැගසින් බන්ධනාගාරයට ගෙනියනකොට රාත්‍රී 11:00 පමණ වුණා. ඒ අවස්ථාවේදී එතුමාගේ අධික රුධිර පීඩනය සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් බන්ධනාගාරයෙන්, බන්ධනාගාර රෝහලට ඇතුල් කරන්න සිද්ධ වුණා. ඊට පහුවදා එනම් අගෝස්තු මාසේ 23 වැනිදා සවස රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට විශේෂඥ වෛද්‍යවරු තීරණය කළා.
අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා හදීසි ප්‍රතිකාර ඒකකයට (ICU) ඇතුළත් කරන්න සිදුවුණා. එපමණක් නෙවෙයි, පසුව අගෝස්තු මාසේ 26 වැනිදා කොටුව මහේස්ත්‍රාත් ඉදිරියේ නඩුව කැඳවන අවස්ථාව වන විට රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතවයි සිටියේ. ඒ නිසා සූම් තාක්ෂණය හරහා තමයි එතුමා අධිකරණයට ඉදිරිපත් වුණේ.
කෙසේ නමුත් එදින ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත එතුමාව මුදා හැරීමට අධිකරණය තීරණය කළා. කෙසේ හෝ එතුමා මේ තත්ත්වයට පත්වීමට මේ ඉහතින් සඳහන් කළ කාරණා ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්, එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය, එතුමා කළමනාකරණය කරගෙන ජීවත් වූ පුද්ගලයෙක් හැටියට. කොහොම නමුත් අගෝස්තු 29 වෙනිදා දක්වාම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්න රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවුණා.
ඉන්පසුව 29 වෙනිදා සවස 3:00 ට පමණ එතුමා කොළඹ ජාතික රෝහලෙන් පිටත් වුණා. නමුත් පුවත්පත්වල කියලා තිබුණා රනිල් අධිකරණයට වංගු දැම්මා කියලා. ඒ විතරක් නෙමෙයි, වෛද්‍යවරුන්ටත් මේ ගැන බොරු වාර්තා ලියලා තිබුණා කියලා ඔවුන්ටත් අපහාස කළා.
මේ විතරක් නෙමෙයි. කොළඹ ජාතික රෝහලේ දින හයක් ප්‍රතිකාර ලබලා පිටවෙලා ගියාට පස්සෙත්, කොළඹ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු හත්දෙනෙක් රහස් පොලීසියට විටින් විට කැඳවලා ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තියට කැළලක් වන පරිදි රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහ ඒ ලියපු වාර්තාව පිළිබඳව විභාග කිරීම් සිදුවුණා.
මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඒ විශේෂඥ වෛද්‍යවරු හත්දෙනාම රහස් පොලිසියට විටින් විට කැඳවමින් මේ ප්‍රතිකාර කිරීම හේතු කොටගෙන කටඋත්තර ලබාදීමට සිදුවුණා.
එතකොට එතුමාට එවැනි බරපතල තත්ත්වයක් තිබෙන බවට වාර්තා කරන ලද විශේෂඥ වෛද්‍යවරු හත්දෙනාට කරන ලද මානසික පීඩනය දෙස බැලූ විට, නැවත එතුමා වෙනත් ශල්‍යකර්මයක් සඳහා ඉදිරිපත් වුවත් කුමන ආකාරයට රහස් පොලීසිය සහ රජය හැසිරෙයිද කියන කාරණය පිළිබඳව බලවත් සැකයක් පවතිනවා.
ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගියේ.
අවසාන වශයෙන් මතක තබා ගත යුතුයි. 76 වසරක් ඉතාමත් හොඳ නිදහස් සෞඛ්‍ය පද්ධතියක් සහ ඉතාමත් දක්ෂ වෛද්‍යවරු නිර්මාණය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. නමුත් 76 වසරක් පුරාවට අපි අසමත් වෙලා තිබෙනවා හොඳ රාජ්‍යයක් සහ හොඳ ආණ්ඩුකරණයක් ඇති කරන්න.
ඒ නිසා විදෙස් රටක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිකාර ගැනීම තුළ වෛද්‍යවරු රහස් පොලීසියට ගෙනියන්නත් බැහැ, එවැනි ප්‍රශ්නයක් ඇති වන්නෙත් නැහැ, එවැනි සැක සහිත අවස්ථාවක ගත යුතු හොඳම තීරණය තමයි, ශ්‍රී ලංකාවෙන් බැහැර වෙලා අදාල ප්‍රතිකාර ලබා ගැනීම. ඉතින් මෙවැනි තත්ත්වයන් කාගේ පාලනයක් තිබුණත් නොකළ යුතු කාර්යයන් ලෙස මතක තබාගත යුතුයි.




















