දඹුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක්ගේ සේවය වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවීමට දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා විසින් කටයුතු කර තිබෙනවා.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් දඹුල්ල සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අදාළව සිදු කරනුය් ලැබූ විමර්ශණවලින් අනතුරුව ඊයේ (10) දිනයේ දී දඹුල්ල ඔරලෝසු කණුව අසල රාත්‍රී ජංගම සංචාර රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක්ගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
අදාල පැමිණිල්ල සිදු කරනු ලැබූ පුද්ගලයා, විදේශ රටක සිට පැමිණෙන සිය ඥාතියෙකු රැගෙන ඒම සඳහා ඊයේ දින අලුයම කාර් රථයකින් පැමිණෙමින් සිටින අතරතුර දී දඹුල්ල ඔරලෝසු කණුව අසලදී ඉහත පොලිස් නිලධාරීන් විසින් කාර් රථය නවතා පරික්‍ෂා කර තිබෙනවා.
එම අවස්ථාවේදී කාර් රථයේ තිබී වත්තල ප්‍රදේශයේ පදිංචිඅයෙක් වෙත ලබා දීම සඳහා රැගෙන ගිය ඌරු මස් කිලෝ පහකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර ඌරූ මස් රැගෙන යාම නීති විරෝධී බව පවසමින් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග නොගැනීමට නම් එම මස් සමඟ රුපියල් 1000ක මුදලක් ලබා දෙන ලෙස පොලිස් නිලධාරීන් පවසා සිටි බව අදාළ පැමිණිල්ලේ සඳහන්.
ඒ අනුව අදාළ පුද්ගලයා විසින් අදාළ මස් සහ රුපියල් 1000ක මුදලක් ලබා දීමෙන් අනතුරුව ලබාදී ඒ සම්බන්ධයෙන් පසුව පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව සිදු කරනු ලැබූ විමර්ශනයට අදාළව ඉහත පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.




















