BREAKING NEWS
Search

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළොත් වැඩ වරදියි

4

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

අද (10) පෙරවරුවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ බස් නැවතුම්පළට හානි කිරීම සංවිධානාත්මක පාර්ශ්වයන්ගේ ක්‍රියාවක් වන බවත් ඒ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම දැඩි ආරක්ෂක පියවරන් ගැනීමටද කටයුතු කරන බවය.

අමාත්‍යවරයා මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසුව අදහස් දක්වමින් පැවසුවේ කාන්තා වැසිකිළිවල සවිකර තිබූ කරාම පළවෙනි දින ගලවා තිබීමෙන් පසු නැවත සවි කළ පසු දෙවැනි දිනටත් ඊයේ (09) රාත්‍රියේදී එම කරාම ගලවා ඇති බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙය සංවිධානාත්මක පිරිසකගේ ක්‍රියාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ මෙහි ආරක්ෂක තත්ත්වය පිළිබඳව අද දිනයේ සාකච්ඡාවක් ද පැවැත්වෙන අතර ඒ අනුව මෙහි ඉදිරි පියවර ගන්නා බවත්ය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,

“කාරණා දෙකක් වෙන්න පුළුවන්. එකක් මෙතන ගැන දැනුමක් නැතිව අනවබෝධයෙන් වෙන වැඩක් වෙන්න පුළුවන්. හැබැයි කරාමයක් කරකවලා කරකවලා කාන්තා වැසිකිළිවල විතරක් ගලවනවා කියන්නේ ඒක සංවිධානාත්මක වැඩක්. ඒ නිසා පෞද්ගලිකව මමත් මෙතන කාර්ය මණ්ඩලය වුනත් විශ්වාස කරන්නේ දේශපාලනයේ අපිට විවිධ මත තියෙන්න පුළුවන්. මේක පොදු ජනතාවගේ දෙයක්, පොදු මහජනතාවගේ බදුමුදලින් හදලා තියෙන්නේ. ඒවගේ අලාභ හානි කරන්න දෙන්න බැහැ අපි මේකට නීතිය ක්‍රියාත්මක කරනවා. මොකද දෙවැනි පාරට හයි කරාට පස්සේ ආයෙත් ගැලවෙනවා කියන්නේ.. ඊයේ රෑ හැදුවාට පස්සේ අද උදේ ආයෙත් ගලවලා.. ඒ කියන්නේ මේක සංවිධානාත්මකව ගලවනවා. අපි දන්නවා සමාජ මාධ්‍ය තුළත්, එළියේ වුණත් මේකට කොච්චර මඩ ගැහුවාද කියලා. මඩ ගැහුවාට කමක් නැහැ හැබැයි ජනතා බදු මුදලින් හදපු ඒවාට අලාභ හානි කරන්න එපා කියන එක තමයි ඉල්ලන්නේ. අපි හිතනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා මාස 3කට වැඩි කාලයක් මෙතන ගත කරන්න. ඒ වගේම තමයි මෙතන ආරක්ෂක තත්ත්වෙත් අපි දැඩිව ක්‍රියාත්මක කරනවා. CCTV ප්‍රමාණයේ අඩුවක් තියෙනවා අපි ඒ ප්‍රමාණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *