ඝාතනය වූ සිය බලු සුරතලා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා රැකියාවෙනුත් අස් වී වසර තුනකට අධික කාලයක් සටන් කළ කත

49

විෂ මිශ්‍ර කළ කුකුළු මස් කැබලි ආහාරයට දීමෙන් ඝාතනය වූ සිය සුරතල් බල්ලා වෙනුවෙන් වසර තුනකට අධික කාලයක් තනිවම සටන් වැදුණු චීන ජාතික කාන්තාවක පිළිබඳ පුවතක් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.

තම සුරතලා වෙනුවෙන් යුක්තිය පසිඳලීම සඳහා මෙම චීන කාන්තාව සිය රැකියාව පවා අතහැර දමා නීතිය හැදෑරීමට යොමුවීම ද විශේෂත්වයකි.

චීනයේ බීජිං නුවර පදිංචි ලී යිහාන් නමැති මෙම කාන්තාවගේ පැපී නම් සුදු පැහැති වෙස්ට් හයිලන්ඩ් ටෙරියර් වර්ගයේ සුරතල් බල්ලා වස දීමෙන් මියගොස් ඇත්තේ 2022 වසරේදීය.

ඇය පවසන්නේ වසර 13ක් තිස්සේ තම දරුවකු මෙන් රැකබලා ගත් සුරතලාගේ මරණය තමන්ට දරාගත නොහැකි වූ බවය. ඇය පදිංචි නිවාස සංකීර්ණයේ ළමා උද්‍යානයක තිබූ විෂ මිශ්‍ර කළ කුකුළු මස් කැබලි අනුභව කිරීමෙන් මෙම සුරතලා මියගොස් ඇති අතර, එදිනම එම උද්‍යානයේදී තවත් සුරතල් බල්ලන් 11 දෙනකුට වස ශරීරගත වී ඉන් නව දෙනකුම මියගොස් තිබුණි.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයකු විසින් සෝඩියම් ෆ්ලෝරෝඇසිටේට් (sodium fluoroacetate) නමැති ඉතා විෂ සහිත රසායනයක් මිශ්‍ර කර මෙම මස් කැබලි උද්‍යානයේ දමා ඇති බවය. චීනය තුළ සත්ව හිංසනයට එරෙහිව ප්‍රබල නීති පද්ධතියක් නොමැති වීම හේතුවෙන් මෙම සිද්ධියට එරෙහිව නීතිමය පියවර ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වූ බව ලී පැහැදිලි කර ඇත.

ඒ වෙනුවෙන් ඇය සිය රැකියාවෙන් ඉල්ලා අස්වී, වසර තුනක් තිස්සේ රටේ පවතින සිවිල් සහ අපරාධ නීති පිළිබඳව ස්වයං අධ්‍යයනයක නිරත වී ඇත.

අවසානයේ ඇය මෙම වයෝවෘද්ධ පුද්ගලයාට එරෙහිව පුද්ගලික අපරාධ නඩුවක් සහ සිවිල් නඩුවක් ගොනු කිරීමට සමත් වූවාය.

අනෙක් වින්දිතයන්ට වෙන වෙනම නීතිඥයන් කුලියට ගැනීමට අපහසු වූ බැවින් ඇය අධිකරණය හමුවේ අනෙක් වින්දිතයන් 10 දෙනා වෙනුවෙන් ද පෙනී සිට ඇත.

“පැපී මියයන විට අත්විඳි වේදනාව මට අමතක කළ නොහැකියි. ඒ වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම මගේ අරමුණයි” යනුවෙන් ඇය මාධ්‍ය හමුවේ පවසා තිබේ.

වස දීම සිදු කළ පුද්ගලයාට සිවු වසරක සිරදඩුවම් හිමි විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *