BREAKING NEWS
Search

දෛවය කියන්නේ මොන තරම් පුදුමයක්ද..? වසර 20ක් තිස්සේ ඔහු සෙවූ මව අවසානයේදී හමුවෙයි..

63
දෛවය කියන්නේ කොච්චර පුදුම දෙයක්ද නේද?

කවදාහරි මුණගැහෙන්න තියෙන අය, කොහොම හරි මුණගැහෙනවා කියන එකට මේක කදිම උදාහරණයක්.

මේ අමුතු කතාවේ හැංගුණු රහස් එකින් එක කියවද්දී , ඔබේ ඇස්වලටත් කඳුළක් එන බව නම් සත්‍යක්.

අවුරුදු 20ක් තිස්සේ මුළු ලෝකෙම හෙව්ව තමන්ගේ සැබෑම අම්මා, තමන්ගේම ඔෆිස් එකේ අවුරුදු 2ක් තිස්සේ තමන් එක්කම වැඩ කරලා කියලා දැනගත්තොත් මේ පුතාට කොහොම දැනේවිද..?

චිත්‍රපටයක කතාවක් වගේ පෙනුණත් මේක අමෙරිකාවේ උටා (Utah) ප්‍රාන්තයේ සිද්ධ වුණු, දෛවය ගැන අපිට අලුතින් හිතන්න යොමු කරන 100%ක් සත්‍ය කතාවක්.

වයස 15දී කරපු මහා පරිත්‍යාගය
හොලී ෂියරර් (Holly Shearer) කියන්නේ වයස අවුරුදු 15දී ගැබ්ගත්ත යුවතියක්. ඒ කාලේ ඇයට දරුවෙක්ව හදාගන්න තරම් වත්කමක් හෝ පසුබිමක් නොතිබුණු නිසා, තමන්ගේ පුංචි පුතාට හොඳ අනාගතයක් ලබාදෙන්න ඕනෙ නිසාම, 2001 වසරේදී ඇය මේ දරුවාව වෙනත් පවුලකට හදාගන්න දෙනවා. ඒ පවුල ඔහුට බෙන්ජමින් (Benjamin Hulleberg) කියලා නම තිබ්බා.

අවුරුදු 20ක සෙවීම සහ පුතාගේ එකම ප්‍රාර්ථනය
බෙන්ජමින් ටිකෙන් ටික ලොකු වෙද්දී ඔහු දැනගන්නවා තමන්ව හදාගන්න ගත්තු දරුවෙක් කියලා. ගොඩක් දරුවෝ මේ වගේ වෙලාවට අම්මා ගැන වෛර කළත්, බෙන්ජමින්ට ඕනේ වුණේ එකම එක දෙයයි. “මට මගේ අම්මව හොයාගෙන, මට මේ ලස්සන ජීවිතේ දුන්නට ඇයට ස්තූති කරන්න ඕනේ!” මේ නිසා ඔහු අවුරුදු ගාණක් තිස්සේ DNA පරීක්ෂණ කරමින්, අදාළ ආයතනවලට ලියුම් යවමින් තමන්ගේ අම්මව හොයන්න පටන් ගත්තා. හැබැයි ඔහුට ඇයව හොයාගන්න බැරි වුණා.

රහසින් බලා සිටි අම්මා
මේ අතරේ හොලී (අම්මා) තමන්ගේ පුතාගේ නම අන්තර්ජාලයෙන් හොයලා බෙන්ජමින්ගේ ෆේස්බුක් එක හොයාගෙන තිබුණා. පුතාට වයස 18 වෙද්දීම ඇය ඔහුව අන්තර්ජාලයෙන් දැක්කත්, එකපාරටම කතා කරලා දරුවාගේ ජීවිතේ අවුල් කරන්න බයට ඇය අවුරුදු 2ක් තිස්සේ හැමදාම හොරෙන් පුතාගේ ෆොටෝස් දිහා බලාගෙන හිටියා.

උපන්දිනේ දවසේ ආපු ෆේස්බුක් මැසේජ් එක
පුතාගේ 20 වෙනි උපන්දිනේ දවසේ (2021 නොවැම්බර් 20) හොලීට තවත් මේක හිතේ තියාගෙන ඉන්න බැරි වුණා. ඇය බෙන්ජමින්ගේ ෆේස්බුක් ගිණුමට මැසේජ් එකක් යැව්වා… “ඔබට සුබ උපන්දිනයක් වේවා! මම තමයි මීට අවුරුදු 20කට කලින් ඔයාව මේ ලෝකෙට ගෙනාවේ…” මේ මැසේජ් එක දැක්කම බෙන්ජමින් කම්පනයට පත්වෙලා සතුටු කඳුළු වක්කරමින්ම ඇයට රිප්ලයි කළා. අන්තිමේදී ඔවුන් දෙන්නා රාත්‍රී කෑමකට මුණගැහෙන්න තීරණය කළා.

දෛවයේ මහා පුදුමය
ඔවුන් දෙන්නා මුණගැහිලා කතා කරද්දී තමයි මේ කතාවේ ලොකුම පුදුමය එළියට එන්නේ. “ඔයා කොහෙද වැඩ කරන්නේ?” කියලා අහද්දී බෙන්ජමින් කිව්වේ තමන් උටා හි තියෙන ‘St. Mark’s Hospital’ කියන රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයේ (NICU) වැඩ කරනවා කියලයි. ඒක අහපු හොලීට අදහගන්න බැරි වුණා. මොකද ඇය වැඩ කළෙත් හරියටම ඒ රෝහලේම හෘද රෝග මධ්‍යස්ථානයේ වෛද්‍ය සහායිකාවක් විදිහටයි.

ඔව්… මේ අම්මයි පුතයි පහුගිය අවුරුදු 2 පුරාවටම වැඩ කරලා තියෙන්නේ එකම රෝහලේ. ඔවුන් දෙන්නා එකම පාකින් එකේ වාහන නවත්තලා, එකම කැන්ටින් එකෙන් කෑම කාලා, එකම කොරිඩෝරයේ ඇවිදලා තිබුණත්, ඒ තමන්ගේ අම්මා, පුතා කියලා ඔවුන් දෙන්නාම දැනගෙන හිටියේ නැහැ! අන්තිමට ෆේස්බුක් එකෙන් තමයි දෛවයේ මේ පුදුම හමුවීම සම්පූර්ණ කළේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *