අකුරට යන වෙලාවේ ටෙලිනාට්‍යයේ ලලිතා ටීචර් ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් කතාබහ වෙනවා. මේ අතර ශමීර නාඔටුන්නගේ වයිෆ් චිත්‍රපටයත් රටපුරා සිනමාහල්වල තිරගත වෙනවා. ඉතිං මේ නිර්මාණ දෙකේම චරිත මවන පියුමි බොතේජු එක්ක කාලෙකට පස්සේ අපි පුංචි කතාබහක නිරත වුණා.
පියුමි රංගනයෙන් දායක වුණු ද වයිෆ් සිනමා නිර්මාණය මේ දවස්වල රට පුරා තිරගත වෙනවා?
ඇත්තටම ද වයිෆ් චිත්‍රපටයේ මට එහෙම ලොකු කාර්යයක් කරන්න තිබුණේ නැහැ. මං වගේම ගොඩක් ආර්ටිස්ට්ලාට එක සීන් එකක් වගේ තමයි තිබුණේ. ඇත්තටම නිර්මාණය බලන ගොඩක් දෙනෙක්, මගේ චරිතයේ කරපු ටිකත් මරු කියලා වීඩියෝ ක්ලිප්ස් පවා එවනවා. මොකද මම ශමීර නාඔටුන්න සමඟ වැඩකරන්න ටිකක් ආසාවෙන් හිටියේ. ඔහු තරුණ වගේම ඉතාම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. මේ සිද්ධි දාමය එයා හරි ලස්සනට චිත්‍රපටයක් විදිහට ගොඩනගල තියෙනවා. මට සතුටුයි ඒ වගේ චිත්‍රපටයකට සම්බන්ධවෙන්න ලැබීම ගැන.

මේ කතාව ගැන අදහස මොන වගේද?>
හරි ලස්සන චිත්‍රපටයක්. ළඟ ඉන්නකොට තමන්ගේ පාට්නර්ට අපේ තියෙන සුළු සුළු වැරදි කොච්චර දුරට දැනෙයි ද කියලා දැනෙන්නේ නැහැනේ. ආදරය කරන අය මේ වගේ චිත්‍රපටයක් බලන්න ඕනෑ කියලයි මට නම් හිතෙන්නේ.
හේමාල් – උදාරිගේ රංගනය ගැන යමක් කිව්වොත්?
ඇත්තටම ඔවුන් දෙපළ ඒ චිත්‍රපටයේ හොඳටම රඟපානවා. අපිට එදිනෙදා ජීවිතයේ නිතර මුණගැසෙන චරිත දෙකක් තමයි ඔවුන් නිරූපණය කරන්නේ. ඒ චරිත දෙකට උපරිම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා මට දැනෙනවා.

කොහොමද රඟපෑම් වැඩකටයුතු?
ලලිතා ටීචර්ට වැඩිපුර අහන්න ලැබෙන්නේ හොඳද? නරකද?
හොඳ තමයි අහන්න ලැබෙන්නේ. ලලිතා ටීචර්ට හැමෝම ආදරෙයි. මට දැනෙන ලොකුම සතුට ඒක. පොඩිම දරුවාගේ ඉඳලා ආච්චි දක්වා ලලිතා ටීටර්ට ආසයි. එයා එනකම් බලාගෙන ඉන්නවා කිව්වාම මට දැනෙන්නේ සතුටක්. හැම චරිතයක්ම මට ලබාදෙනකොට මම අධ්‍යක්ෂවරයා සමඟ කතාබහ කරලා සුදුසු විදිහට චරිතය හදාගන්නවා. ඉතිං මගේ මහන්සිය ඒ විදිහට දකිනකොට මට හරි සතුටුයි. සමහර අය කියනවානේ මෙගා නාට්‍යවල ගොඩාක් දේවල් කරන්න නැහැ කියලා. මට එහෙම නැහැ. මට ලැබෙන හැම චරිතයේම මට කරන්න දෙයක් තියෙනවා.
පිටපත ගැන මොකද හිතුනෙ?
ඇත්තටම ලලිතා ටීචර්ගේ චරිතයට පිටපතක් මගේ අතට දීලා නෙමෙයි මුලින්ම මට කතා කරන්නේ. මට ඉත්තෑපාන අයියා කතා කරන්නේ අපේ සුදත් දේවප්‍රිය අයියාගේ නාට්‍යයක් කියලා. එතකොටම මට මතක් වුණේ සුදත් අයියාගේ අඹ යාළුවෝ ටෙලිනාට්‍යය. එතකොට මට ආසා හිතුණා සුදත් අයියාගේ වැඩකටනේ මේ කතා කරන්නේ කියලා. ඒ වෙනකොටත් අකුරට යන වෙලාවේ ටෙලිනාට්‍යය ටිකක් විකාශනය වෙලා. මම හරි සතුටෙන් භාරගත්තා සුදත් අයියත් එක්ක වැඩකරන්න තිබුණ ආසාවට. ඒ කරපු චරිතය මේ විදිහට පිළිගන්න කොට මට ලොකු සතුටක් දැනුනා. මුලින්ම මට ප්‍රතිචාර ලැබුණේ යුනිට් එකෙන්. අපි කරන දේ මුලින්ම දකින්නේ යුනිට් එකනේ. ඒ ගැන ඇත්තටම සතුටුයි.
වේදිකාවේ වැඩකටයුතු?
මේ දවස්වල වේදිකාවේ වැඩකටයුතුවලට නම් සම්බන්ධවෙන්නේ නැහැ. මොකද කෝපරේටිව් ඉවෙන්ට් තියෙනවානේ. ඒවාට යන්න වෙන්නේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා කියන දවස්වල. එතකොට මට වේදිකාවත් එක්ක ඉන්න තියෙන කාලය ඇත්තටම අඩුයි. මම ගොඩාක් ආසාවෙන් ඉන්නවා වේදිකාවත් එක්ක වැඩකරන්න. ආරාධනයකුත් ලැබිල තියෙනව. ඒත් මට තියෙන ප්‍රශ්නය වෙන්නෙ වෙලාව.
පියුමිගේ ජනප්‍රියත්වය අදටත් එලෙසමයි?
ඇත්තටම ඔව්. මම දකින්නේ ඒක මගේ වාසනාවක් විදිහට. මම ආපු දවසේ ඉඳලා මිනිස්සුන්ට මතකයේ හිටිය චරිතයක් විදිහට මට මතක් වෙන්නේ පබා ටෙලිනාට්‍යය. මගේ හතරවැනි හෝ පස්වැනි ටෙලිනාට්‍යය. එතකොට එදා ඉඳලා අද වෙනකම් මට ඒ ආදරය ලැබෙනවා. මම ඒ ආදරය දකින්නේ මගේ වාසනාවට ලැබෙන දෙයක් විදිහට. මොකද මම ආදරයට හරි කෑදර ගැහැනියක්. ඒකත් එකක් මිනිස්සු මට ආදරයෙන් කතා කරනකොට තමන්ගේ කරගෙන කතා කරනකොට මට අමුතු හැඟීමක් දැනෙනවා. ඉතිං මම හැමදාම කියන දෙයක් තමයි ජනප්‍රියයි කියන්නේ ජනයාට ප්‍රියයි කියලා. මම ප්‍රාර්ථනා කරනවා මැරෙනතුරුත් මට ජනයාට ප්‍රියව ඉන්න ලැබේවා කියලා.
පබා කියන්නේ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්?
ඇත්තටම හැරවුම් ලක්‍ෂ්‍යයක්. මොකද ඒ චරිතයට මට කතා කරන්නේ සීන් දාහතරක් තියෙන කැරැක්ටර් එකක්, මේකේ දවස් දෙකක් හෝ තුනක් ෂූටින් තියේවි ඔයාට පුළුවන්ද කියලා. ඒකට මම ගොඩාක් ආසාවෙන් සම්බන්ධ වෙනවා, කමක් නෑ අයියේ සීන් දාහතරනේ කරමු කියලා. මම එන්නේ පනස් දෙවැනි කොටසේ. එතකොට අපි ෂූට් කරපු දවසේම ඉඳලා මේ චරිතය විකාශනය වෙන්නත් සලස්වනවා. තුන්වැනි දවසේ පාරේදීම ඒ චරිතයට ප්‍රතිචාර ලැබෙනවා. ඒකත් එක්ක තමයි හිමාලිගේ චරිතය දික්වෙන්නේ. නැතිනම් හිමාලි කියන්නේ සීන් දාහතරකට කොටුවෙච්ච චරිතයක්.
පොඩි චරිතයක් අතට අරගෙන ලොකු ගමනක් යන්න හරි දක්ෂයි. මොකක්ද එතැන තියෙන රහස?
මම දකින විදිහට මට දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් තමයි රඟපෑම කියන්නේ. මේක මගේ වෘත්තිය. මම මෙතැනින් එහාට දෙයක් කරන්නේ නැහැ. එතකොට මම මගේ වෘත්තියට හරි දේවත්වයෙන් සලකනවා. එතකොට මට ලැබෙන්නේ එක කොටස වුණත් මම ඒක උපරිමයෙන් කරන්න තමයි බලන්නේ. ඒකයි මම මගේ චරිත ඇතුලේ ගොඩක් වෙලාවට වැඩදාන්නේ. මොකද මම චරිත හොයනවා. මම හැමදාම මටම මාව අභියෝගයක් කරගත්තු කෙනෙක්. ඒක තමයි මට මෙච්චර ගමනක් ඇවිත් මේක ඇතුලේ කරනම් ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ.
මහේෂ් එදිරිසිංහ


















