ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ වගේම නිහතමානී රංගන ශිල්පියෙක් තමයි විරාජ් පෙරේරා.
විරාජ් ගැන පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ ලොකු කතාවක් ඇතිවුණේ ඔහු තැබූ අපූරු, ඒ වගේම හදවතට තදින්ම දැනෙන සටහනක් නිසයි.
විරාජ්ගේ පියාණන් මේ වන විට ගිහිගෙය අතහැර කඩුවෙල, කඩුබොඩ ආරණ්‍ය සේනාසනයේ මහණ දම් පුරනවා. ඉතින් විරාජ් උන්වහන්සේ බැහැදකින්න ගිය වෙලාවේ වුණු දෙයක් ගැන තමයි මේ විදිහට හෙළි කරලා තිබුණේ.
විරාජ්ට ආරණ්‍යයට යන පාර වැරදිලා තියෙනවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ පාරටම වැඩම කරලා විරාජ්ව එක්කරගෙන යන්න කටයුතු කරලා තියෙනවා. වාහනයට ගොඩ නොවී, පාර පෙන්වමින් ඉදිරියෙන් වැඩම කරන ඒ ස්වාමින් වහන්සේගේ රුව දකිද්දී විරාජ්ගේ හිත මොන තරම් සංවේදී වෙන්න ඇතිද?
විරාජ් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මෙහෙම සටහනක් තබා තිබුණා…
“ගිහි වුණත් පැවිදි වුණත් තාත්තා තාත්තමයි. වරදිනකොට වැඩිපුරම ඉන්නේ තාත්තා අම්මලා විතරයි. තාත්තා කියලා ආමන්ත්‍රණය කරන්න ආස වුණත්… බෑනේ.. එහෙම කියවෙන්න ගියත් මාරම තැනක හිත තද කරන් ඉන්නවා.”
ලෝකයක් හඳුනන නළුවෙක් වුණත්, තමන්ගේ පියාණන් ඉදිරියේ ඔහු තවමත් ඒ ආදරණීය පුතාමයි. සිවුරක් දැරුවත් පිය සෙනෙහස කියන්නේ මොන තරම් උතුම් දෙයක්ද කියලා විරාජ්ගේ මේ කතාවෙන් අපිට පැහැදිලි වෙනවා.



















