BREAKING NEWS
Search

තෙල් පෝලිමට ගොස් තෙල් වැඩිවී ගෙදර ආ සැමියාට බිරිදගෙන් යස පාඩමක්

36

යතුරුපැදියට තෙල් ලබාගැනීම සඳහා තෙල් පෝලිමකට ගිය පුද්ගලයකු පැය පහකට පමණ පසුව තෙල් වැඩිවී යතුරුපැදිය ද මඟ දමා ත්‍රීරෝද රථයකින් නිවසට පැමිණි පුවතක් දකුණු පළාතේ අග නගරය ආසන්න ගමකින් පසුගියදා වාර්තා විය.

හෙතෙම පෞද්ගලික ආයතනයක කරපටි පලඳින රැකියාවක නියුතු අයෙකි. පසුගියදා වැඩ ඇරී නිවසට පැමිණ හැන්දෑ යාමේ දරු දෙදෙනා සමග සිටින අතරතුරදී දුරකතන ඇමතුමක් ලැබුණේය. ඇමතුම දුන් මිතුරා කියා සිටියේ ආසන්න තෙල් පිරවුම්හලට තෙල් බවුසරයක් පැමිණි බවය.
දරු සුරතල් බැලීම නතර කළ හෙතෙම තමා තෙල් පෝලිමට යනබව බිරිඳට පවසා කඩිමුඩියේම ඇඳ පැලඳගෙන යතුරු පැදිය ගෙන නිවසින් පිටවී ගියේය. ඔහු යනවිට පණිවුඩය ලබාදුන් මිතුරාද පැමිණ සිටියේය. ඒ අවස්ථාවේ එහි එතරම් පෝලිමක් නොතිබුණු බැවින් පැය භාගයක් යන්නට මත්තෙන් ඔවුහු තෙල් පුරවාගත්තෝය.පෝලිමක තපින්න බලාගෙන ආවත් දැන් එවැන්නක් නොමැති නිසා ඉතිරි කාලයේ ‘‘ආතල්”‍ එකක් ගමු යැයි කතිකා කරගෙන තවත් යහළුවන් දෙදෙනෙකුද එකතු කර ගත්තෝය. පසුව හතර දෙනාම එක්ව සම සමව මුදල් සම්මාදම් කරගෙන අවශ්‍ය බීම වර්ග හා කටගැස්මාදියත් සපයා ගෙන ආසන්න මිතුරාගේ නිවසට සෙට් වූහ.

මධු සාදය ආරම්භ කරමින් පළමු මත්වඩිය උගුරට හලාගත් අපේ කතා නායකයා බිරිඳට දුරකතන ඇමතුමක් ගෙන දිග තෙල් පෝලිමක් ඇති බැවින් තව පැය දෙකකටවත් ගෙදර එන්නට නොහැකිවන බව දැනුම් දුන්නේය. වෙන වෙන අනම් මනම් නොකර තෙල් ගහගෙන පරිස්සමින් ගෙදර එන්නැයි ඈ දැනුම් දුන්නාය.
සාදය හමාරවන විට අපේ කතානායකයා සිටියේ යතුරු පැදියෙන් ගෙදර යන්න පුළුවන් මට්ටමේ නොවේය. මේ මට්ටමෙන් ගියොත් පොලීසියට හසු නොවූවත් යතුරු පැදිය අනතුරකට ලක්විය හැකි බැවින් යහළුවෝ යතුරු පැදිය මිතුරාගේ නිවසේ තිබියදී ත්‍රීරෝද රථයක නංවා ඔහු නිවසට පිටත්කර යැව්වෝය.

බයිසිකලේට තෙල් ගහන්න ගිය මනුස්සයා බයිසිකලෙත් නැතුව ත්‍රීරෝද රථයකින් බැස වැනි වැනී පැමිණ ගෙදර දොරට තට්‍ටු කළේය. දොර හැරී බිරිඳට ඔහු සිටි තත්වය දැක යකා ආරූඪ විය. ‘‘තෙල් ගහල තියෙන්නෙ බයික් එකට නෙවෙයි. තෙල් හිඳෙනකන් ඔහෝමම ඉන්න”‍ යැයි කියමින් බිරිඳ දොර වසා දැමීය. වැරන්ඩාවේ පුටුවකට වැටී කුසගින්නේම නිදාගන්නට ඔහුට සිදුවුණාලු‍.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *