BREAKING NEWS
Search

පදිකයෙකු හප්පා රෝහලේ රෝද පුටුවක දමා රහසේ පලාගිය ලොරි රියැදුරු මාට්ටු

58
අංගොඩ ප්‍රදේශයේදී මගියෙකු ලොරි රථයක ගැටී අනතුරට පත්කර, ඔහු රෝහලේ රෝද පුටුවක වාඩි කරවා පලාගිය බව කියන රියැදුරෙකු දින තුනකට පසු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසනවා.
අනතුරින් බරපතල තුවාල ලබා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මගියා ඊයේ (02) මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය 25 වැනි දින රාත්‍රී 7 ට පමණ අංගොඩ ගැට්ටේ පන්සල ආසන්නයේදී පාර මාරු වෙමින් සිටි මෙම පුද්ගලයා ලොරි රථයක ගැටී තිබූණා.

එම අවස්ථාවේදී ලොරියේ රියැදුරු විසින් තුවාලකරු මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුත්, ඔහුව රෝහලට ඇතුළත් කිරීමට පියවර නොගෙන රෝද පුටුවක වාඩි කර තබා රහසිගතව පලා ගොස් තිබු බවට කරුණු හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.

රෝද පුටුවේ සිටි පුද්ගලයා හඳුනාගත් අයෙකු ඒ පිළිබඳව ඔහුගේ නිවසට දැනුම් දී ඇති අතර, වහා රෝහලට පැමිණි ඔහුගේ සහෝදරිය විසින් ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

සිරුරේ බාහිර තුවාල දක්නට නොතිබුණ ද අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහුව එදිනම කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවූ ස්ථානයේ සිටි අසල්වැසියෙකු විසින් සටහන් කරගෙන තිබූ ලොරි රථයේ අංකය මියගිය පුද්ගලයාගේ සහෝදරිය විසින් සොයාගෙන පොලිසියට ලබා දී තිබූ බවත්, එම අංකය ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ රථවාහන අංශය මගින් පසුගිය ඉකුත් 01 වැනිදා සැකකාර රියැදුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත් පොලිසිය සඳහන් කළා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *