BREAKING NEWS
Search

දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් පරාද උන පකිස්ථාන ක්‍රීඩකයන්ට අමතක නොවන දඩුවමක් !

46

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් එහි ක්‍රීඩකයන්ට දඩ පැනවීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව තරගාවලියේ ක්‍රීඩා කළ එක් ක්‍රීඩකයකුට එරට මුදලින් මිලියන 5 බැගින් දඩ නියම කිරීමට එරට පාලක මණ්ඩලය සූදානම් බව එම වාර්තාවල වැඩි දුරටත් දැක්වේ. මින් පෙරද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් අපේක්ෂිත මට්ටමේ දක්ෂතා නොදක්වන බව පවසමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කිසිදු ක්‍රීඩකයෙකු ‘ඒ’ ශ්‍රේණියට නම් කිරීමෙන් වැළකී සිටියේය.

පාකිස්තානය මෙවර තරගාවලියේ තමන් තරග වැදුණු මූලික වටයේ තරගවලින් තරග 3ක් ජයගනිමින් ඉන්දියාව හමුවේ පරාජයට පත්ව සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගය පමණක් ජයගත්තේය. එසේම නවසීලන්තය සමග තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමෙද්දී, එංගලන්තය හමුවේ පරාජයට පත්විය. මූලික වටයේදී සිය ප්‍රබලතම ප්‍රතිවාදීන් වන ඉන්දියාව හමුවේ ඔවුනට ලකුණු 61ක පරාජයක් අත්විඳීමට සිදුවිණි.

එසේ වුවද, පාකිස්තාන ආරම්භක පිතිකරු සහිබ්සාදා ෆර්හාන් ඉනිම 6කදී ලකුණු 383ක් රැස් කරමින් ⁣විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා මෙන්ම, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක ශතක දෙකක් රැස් කළ ප්‍රථම ක්‍රීඩකයා ලෙසින් ද වාර්තා අතරට එක් විය. එසේම ඔහු තරගාවලියේ මේ වන විට වැඩිම හයේ පහර ලාභීන් අතර දෙවැනි තැනෙහිද පසුවේ. ඔහු හැරෙන්නට මෙවර තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ එකම පාකිස්තාන ක්‍රීඩකයා වූ උස්මාන් තාරික් කඩුලු 10ක් දවාගෙන වැඩිම කඩුලු ලාභීන් අතර 9 වැනි ස්ථානයේ පසුවේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කොට නොමැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *