පදවිය ප්‍රදේශයේදී පදික මාරුව මතින් පාර මාරු වෙමින් සිටි නව හැවිරිදි පාසල් සිසුවියක යට කරමින් මාරක රිය අනතුරක් සිදුකළ වෑන් රථ රියැදුරෙකු ලබන මාර්තු මස 04 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව වැඩබලන මහේස්ත්‍රාත් අජිත් දිසානායක නියෝග කළා.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ පදවිය, පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි ඒ. ඒ. ජගත් මැදගොඩ නැමත්තෙක්.
පදවිය පොලිසියේ රථ වාහන අංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පදවිය, කඳුරුවැව පදිංචිව සිටි සෙනුලියා තරුෂි රූපසිංහ නැමති නව හැවිරිදි සිසුවියක්.
ඇය පදවිය 18 කණුව ප්‍රදේශයේ පැවති උපකාරක පන්තියකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටියදී පදික මාරුව මතදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
සැකකාර රියදුරා අධික වේගයෙන් සහ අපරික්ෂාකාරී ලෙස වෑන් රථය පදවා ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
මේ අතර, මියගිය දැරියගේ පියා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් දැනට අනුරාධපුර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන අතර, තම දියණියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුට අවස්ථාව ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලූ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ, බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද ඔහුව නිවසට රැගෙන යන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.
පදවිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විදානපතිරණගේ උපදෙස් මත රථ වාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලැබුවා.

















