BREAKING NEWS
Search

බිහිසුණු අනතුරක් – ත්‍රිරෝදය දෙකට කැඩෙයි – ත්‍රිරෝද රියැදුරු මරුට

287

හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ඊයේ (24 වැනිදා) පෙරවරු 6.30ට පමණ සිදුවූ බිහිසුණු අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරකු මරුමුව පත්වී තවත් අටදෙනකු තුවාල ලබා කළුබෝවිල හා හෝමාගම යන රෝහල්වලට ඇතුළත් කර ඇතැයි මහරගම පොලිසිය පවසයි.

ඉන්ධන පිරවුම්හලේ සිට එකවරම අපරික්‍ෂාකාරී ලෙස මාර්ගයට දැමූ ත්‍රිරෝදය බේරීමට උත්සාහ ගත් පානදුරේ සිට මහරගම බලා ධාවනය වූ සුඛෝපභෝගී

නගරාන්තර බස්රථය එම ත්‍රිරෝදයේ ගැටී පසුව මාර්ගයෙන් ඉවතට පැන දකුණු පැත්තේ නවතා තිබූ ටිපරයකද ගැටී තිබේ. ඒත් සමගම එම ටිපරය තල්ලු වී ඉදිරියට ගොස් ඉදිරියෙන් නවතා තිබූ තවත් ලොරි රථයකද ගැටී නතර වී තිබූ බව පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ මහරගම – පන්නිපිටිය පදිංචිව සිටි ජගත් මහින්ද නමැති 63 හැවිරිදි ත්‍රිරෝද රියැදුරුය.

සුඛෝපභෝගී බස් රථයේ රියැදුරුද බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර සුඛෝපභෝගී බසය පානදුර සිට මහරගම බලා පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් ත්‍රිරෝද රථය දෙකට කැඩී වෙන්වී තිබූ බවත්, බසයටද දැඩි හානි සිදුවී ඇති බවත් පොලිසිය කියයි.

සිද්ධිය සැළවීමත් සමග බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණියේය. එහිදී හෙතෙම මෙසේ පැවසීය.

“මේ සුඛෝපභෝගී බස්රථයට නීත්‍යනුකූල ගමන් බලපත්‍රයක් තිබෙනවා. කොහොම වුණත් පානදුර සිට එන්න තිබුණු ගමන්වාරය ප්‍රමාද වූ නිසා එය අහිමි වී තිබෙනවා. මේ නිසා එම බස්රථ රියැදුරු අතරමගින් මගීන්ව රැගෙන මහරගම බලා රැගෙන විත් තිබෙනවා. මොහු නාවින්නෙන් ඊළඟ ගමන් වාරය ගන්න බස්රථය වේගයෙන් පදවාගෙනවිත් තිබෙනවා. ඒ එද්දී තමයි මේ අනතුර සිදුවෙලා තිබෙන්නෙ. මේ ගැන සම්පූර්ණ වාර්තාවක් ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකාරතුමාගෙන් ඉල්ලා තිබෙනවා”

අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ කුඩා දරුවකුද සිට ඇති අතර ඔහුද තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මේ පිළිබඳව මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. හර්ෂ ද සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. බුද්ධික අබේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු සහ සමීර අබේසිංහ – මහරගම




Leave a Reply

Your email address will not be published. Required fields are marked *