පුතා බයිසිකල්වලට නම් පුදුම ආසාවක් තමයි තිබුණේ. බයිසිකල් අරන් ටික දවසකින් විකුණන එක තමයි එයා විනෝදෙට වගේ කළෙත්” බදුරලිය, කළුගල මාර්ගයේදී යතුරුපැදිය විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මියගිය 18 හැවිරිදි පුතුගේ වියෝව දරා ගත නොහැකිව වැලපෙන ලංකිතා පැවසුවේ කඳුළු යටපත් කරගැනීමට උත්සාහ කරමින්.
බදුරලිය, කඹුරාවල, හොරහේන පාර ලිපිනයේ පදිංචිව සිටි හසිදු තේමිය විජේතුංග යෞවනයේ එළිපත්ත මත සිටි තරුණයෙක්. අතුල කිත්සිරි විජේතුංග ( 52) සහ ලංකිකා රුවනි අබේනායක (50) දෙපළට සිටි දරු දෙදෙනාගෙන් වැඩිමහල් දරුවා වූයේ හසිදු පුතුයි.
ඔහුගේ එකම බාල සහෝදරයා වන්නේ 17 හැවිරිදි ජනිඳු භාරිත විජේතුංගයි. බදුරලිය නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක හිමිකරුවකු වන අතුල මෙන්ම, ලංකිතාද බදුරලිය නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන අතර හසිඳු සහ ජනිදු මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නියැලෙමින් සිටියේ දෙමව්පියන්ගේ සිත්වල දහසක් මල් පුබුදමින්.
ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කළ හසිඳු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 09 සම්මාන 07 සහිතව සමත්ව උසස් පෙළ හැදෑරුවේ තාක්ෂණික විෂය ධාරාව යටතේයි. අධ්‍යාපන කටයුතුවලට පමණක් සීමා නොවී ඔහු පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම් බොහොමයක කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ සිසුවෙක් වුණා. පාසලේ ශිෂ්‍යභට කණ්ඩායම නියෝජනය කළ හසිඳු ඉන් නොනැවතී කරාතේ ක්‍රීඩාව මෙන්ම පිහිනුම් අංශයෙන්ද ඉදිරියට ගියේ සමබරව අධ්‍යාපන කටයුතු ද සාර්ථක කර ගනිමින්.
ඔහු ඉදිරිපත් වූ තරග අංශවලින් සමස්ත ලංකා ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් වූ අතර පාසලේ ඉතා ජනප්‍රිය චරිතයක් වූ හසිඳු මිතුරන් අතර නැතුවම බැරි මිතුරකු බවට පත් වූයේ ඔහු තුළ තිබූ කරුණාවන්ත ගතිගුණ නිසායි.
ව්‍යාපාරික පවුලක හැදුණු වැඩුණු දරුවකු වන හසිදු තුළද ව්‍යාපාරික කටයුතු සදහා නැඹුරුවක් නොතිබුණා නම් එය මුසාවක්. කුඩා කළ සිටම ඔහු ලබාගත් අත්දැකීම් හා දැණුම තුළින් ක්‍රමයෙන් ඒ වෙත යොමු වූ ඔහු විනෝදාංශය ලෙස සිදු කළේ යතුරුපැදි මිලදී ගෙන නැවත ඒවා විකිණීමයි.
පුතු පිළිබඳ මතකය අවදි කළ ලාංකිතා පැවසුවේ මෙවැන්නක්.
“අපේ පුතා දක්ෂතා ගොඩක් තිබුණ දරුවෙක්. එයා ඉගෙනීමට විතරක් නෙමෙයි ස්විමිං, කරාතේ, ශිෂ්‍යභට වගේ පාසලේ බාහිර වැඩත් හුඟක් කළා. කරාතේ තරගවලින් සමස්ත ලංකා ප්‍රථම ස්ථාන දිනාගෙන තියෙනවා. කැඩෙට්වලින් පාසල නියෝජනය කරල හතර වතාවක් කෑම්ප් ගියා. හර්මන් ලූස් පදක්කම කැඩෙට්වලින් අවු 08 කට පස්සෙ පාසලට අරන් දුන්නෙ පුතාලගෙ කණ්ඩායම තමයි. ස්විමිංවලිනුත් නිවාසවලට හැමදාම චැම්පියන් ප්ලේස් එක අරන් දුන්නෙ පුතා. එයා ගත්ත සම්මාන සහතික කාමරේ ගොඩ ගහලා. අද මට ඉතුරු වෙලා තියෙන්නෙ ඒ ටික විතරයි.
එයා බයිසිකල් වලට පුදුම ආසාවක් තිබුණ දරුවෙක්. ෆෝන් එකෙන් බල බල බයිසිකලයක් දැක්කොත් ගේනවා. දවස් දෙක තුනක් පදිනවා. යාළුවොත් එක්ක එකතු වෙලා ෆොටෝ ෂූට් කරනවා. ආයිත් ෆෝන් එකට දාල විකුණනවා. එයාගෙ එකම විනෝදාංශය වුණෙත් ඒක. කිසි දෙයක බරක් පතලක් තිබුණ ළමයෙක් නෙමෙයි. හරිම සැහැල්ලුවෙන් දවස ගෙවපු ළමයෙක් තමයි මගෙ පුතා. එයා යාළුවන්ටත් පණ ඇරලා ආදරෙයි. ළමයි දෙන්නෙකුට මුදල්වලින් උදව් කරලා තියෙනවා කියලත් අපිට පුතා නැති වුණාට පස්සෙ ආරංචි වුණා. ඒ තරං අහිංසක අනුන් ගැන හිතන ළමයෙක් එයා.
පුතාගෙ 18 වෙනි උපන් දිනේ තිබුණෙ ජනවාරි 22දා. ඊට පහුවදා රෑ තමයි මේ කරදරේ සිද්ධ වුණේ.
ගමේ ළමයෙකුගෙ වැඩිවිය පැමිණීමේ මගුල් ගෙයක් තිබුණා. අපි හිටියෙ එහෙ ගිහින්. පුතා කිව්වා යාළුවොත් එක්ක එන්නං කියල. ඒකට එන්න ඇවිත් කලුගල පාරෙදි තමයි මේ දේ කරගෙන තියෙන්නේ. ඇක්සිඩන්ට් වුණ බයිසිකලේ අරගෙනත් සුමාන දෙකකට වඩා නෑ.
එක එක වර්ගයේ බයිසිකල් ගන්න පුතා හරිම කැමතියි. යාළුවන්ටත් ඒ ඕනම එකක් පදින්න දෙනවා කිසි ලෝභකමක් නැතුව. කවදාහරි බයිසිකල් බිස්නස් එකක් කරන්නත් පුතා බලාපොරොත්තුවෙන් හිටියා. දැන් ඉතින් ඒ සේරම, හීන විතරක් වෙලා පුතා අපිව දාලා යන්නම යන්න ගියා.”
ඒ මවගේ හිතේ ඇවිලෙන ගින්දර නිවිය හැකි කිසිවෙකුත් මෙලොව නොමැත. යතුරුපැදිවලට විශාල ඇල්මක් දැක්වූ හසිදු යතුරුපැදියක් නිසාම අවසන් ගමන් ගියේ ජීවිතයේ තව බොහෝ දුරක් ඉදිරියට ගමන් කිරීමට තිබූ ඉඩ අහුරා තබමින්.
පසුගිය 23 දා රාත්‍රියේ මිතුරෙකු යතුරුපැදියේ පිටුපස හිඳුවා ගත් හසිදු මේ යන්නේ අවසන් ගමන බව කිසිවෙකුත් දැන සිටියේ නැත. බදුරලිය කළුගල මාර්ගයේ ඔවුන්ට ගමන් කිරීමට හැකි වී තිබුණේ කිලෝමීටර් භාගයක් තුන් කාලක් වැනි දුරක් පමණි. යතුරුපැදිය ලිස්සා ගොස් විදුලි රැහැන් කණුවක ගැටුණේ සියල්ල උඩු යටිකුරු කරමිනි. මිතුරා සමග තුවාල ලැබූ හසිදු රෝහල්ගත කළත් තවදුරටත් මිතුරන් අතර සැරිසරන්නට ඔහුට මරුවා ඉඩ දී තිබුණේ නැත. ඔහු අවසන් ගමන් ගියේ පාසල් මිතුරන් පමණක් නොව කලුගල, හොරහේන බදුරලිය ගම්වැසියන්ද හඩවා තබමින්.
මෙම අනතුර පිළිබඳ බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැදිසිංහගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනගේ, පොලිස් සැරයන් (66106) පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් (97493) චන්ද්‍රසිරි යන නිලධාරීන් විමර්ශන සිදු කළා.


















