ලබාගත් මත්පැන්වලට මුදල් ඉල්ලුවාට කළමනාකරුට බෝතල් ප්‍රහාරයක්

156

මඩකලපුව, පුදුර් ප්‍රදේශයේ පිහිටි මත්පැන් හලක කළමනාකරුට මත්පැන් බෝතලයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයමින් පවතින බව මඩකලපුව මූලස්ථාන පොලීසිය පැවසීය.

පසුගිය 9වනදා රාත්‍රියේ අදාළ මත්පැන් හල වෙත පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි මත්පැන් පානය කර තිබේ.

එහිදී ලබාගත් මත්පැන් සඳහා කළමනාකරු මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී, එම පිරිස කළමනාකරුගේ කාමරයට ඇතුළු වී මත්පැන් බෝතලයකින් ඔහුට පහර දී ඇත.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කළමනාකරු රෝහල් ගත කර ඇති අතර, පහරදුන් පිරිස එතැනින් පළා ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් මඩකලපුව මූලස්ථාන පොලීසිය විමර්ශන සිදුකරමින් සිටියදී, සැඟව සිටි සැකකරුවෙකු අද (16) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත්, පළාගොස් ඇති සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *