මුළු මතුගමම හඬවමින් අද ඇසෙන්නේ මහත් වූ විලාපයකි.
ඒ වෙනදා නිවස පුරා දුව පැන ඇවිදිමින්, කාගේත් සුරතලිය වූ මිනැසි ඔනාරා නම් වයස අවුරුදු දෙකයි මාස අටක පුංචි සුරංගනාවියක් සදහටම දෑස් පියාගෙන සිටින දර්ශනය නිසාවෙනි.
සජන්ත ලක්ෂාන් සහ අමන්දි මංජුලාගේ ආදර කතාව ආරම්භ වන්නේ පාසල් සමයේ ක්‍රීඩා උත්සවයකදීය. වසර ගණනාවක ආදරයකින් පසු විවාහ වූ ඔවුන්ගේ කැදැල්ලට 2023 ජූනි මස 17 වැනිදා මිනැසි පැමිණෙන්නේ මුළු පවුලටම මිණි පහනක් වෙමිනි. එදා සිට අමන්දි තම දියණිය රැකබලා ගත්තේ ඇසට පෙනෙන මානයේ තබාගෙන, රත්තරන් සම්පතක් ලෙසිනි.
නත්තල් නිවාඩුවට නිවසේ සිටි සජන්ත, තම බිරිඳ සහ දියණියත් සමඟ අලුත්ගම කන්දේ විහාරයට ගියේ පූජාවක් තබා ආශිර්වාද ලබාගැනීමටයි. පූජාව අවසන් වී ඉතාම සතුටින් නිවස බලා එමින් සිටි මේ තිදෙනාට අලුත්ගම – මතුගම පාරේ “අඹගස් හන්දිය” හෙවත් 05 කණුව ප්‍රදේශයේදී මාරයා හරස් වී තිබේ.
විහාරයට පූජාවක් තැබීමට යමින් තිබූ කැබ් රථයක්, මොවුන් ගමන් කළ යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ එම ස්ථානය නිතර අනතුරු සිදුවන ස්ථානයක් බවත්, මෙය එහි සිදුවූ 6 වැනි මරණය බවත්ය.
අනතුරින් මිනැසි මෙලොව හැර ගියද, ඇගේ පියා සහ මව තවමත් රෝහල් ඇඳේ පසුවෙති. පියාට බරපතළ තුවාල සිදුව ඇති අතර, මවගේ සුසුම්නාවට හානි සිදුවීම නිසා දෙදෙනාටම තනිව ඇවිදීමට හෝ නොහැකි තත්ත්වයක පසුවේ.
තම දියණියගේ අවසන් කටයුතු සඳහා රෝහලෙන් නිදහස් කර එවුවද, ඔවුන් දෙදෙනාට සිදුව ඇත්තේ ඇඳ මත සිටම තම එකම දියණිය පෙට්ටියක සැතපී සිටින දර්ශනය දෙස බලා හඬා වැටීමට පමණි.
“බෝනික්කෙක් වගේ හිටපු මගේ මැණික අද කතා කරන්නේ නෑනේ…” ඥාති සහෝදරියන් සහ නැන්දණියන් පවසන්නේ දරාගත නොහැකි ශෝකයෙනි.
‘මේ බලන්නකෝ අනේ, අපේ චූටි මැණික, බෝනික්කෙක් වගේ ලස්සනට ඉන්න හැටි. හැමදාම මං ආවම වඩා ගන්න කියලා අතට පනින එයා අද කිසිම සද්දයක් නෑනේ දෙයියනේ..”
ආලෝකා මනරංගි (22) හඬා වැළපෙමින් පැවසුවේ තම බාප්පාගේ එකම දියණියට සිදුවූ විපත දරා ගැනීමට නොහැකිවයි.
නොසැලකිලිමත් රිය ධාවනය නිසා තවත් එක් අහිංසක මල් කැකුළක් මෙලෙස නාමිකව පර වී ගොස් හමාරය. කාටත් කරදරයක් නැතිව ආදරයෙන් සිටි මේ පුංචි පවුලට අද ඉතිරිව ඇත්තේ කඳුළු සහ සුසුම් පමණි.




















