වෙසක් දිනය වෙනස් කරන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් විසින් ජනපතිට ලිපියක්

361

එළැඹෙන වසරේ මැයි 30 වැනිදා වෙසක් පුර පසළොස්වක පොහොය ලෙස ප්‍රකාශයට පත් කිරීමට සුදුසු බවත් වෙසඟේ පොහොය හා සබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යයන් හා රාජ්‍ය උත්සව එම මැයි 30 වැනිදාට යොදා ගන්නා ලෙස රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් විසින් ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන නාහිමිවරුන් මෙම ලිපියට අත්සන් තබා ඇත.

2026 වෙසක් පුන් පොහොය සම්බන්ධව ජනපතිට යැවූ සම්පූර්ණ ලිපිය මෙසේය.

සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාව සම්බුදු තෙමඟුල නිමිති කොටගෙන ධර්මාර්ථ චර්යාවෙන් පෝෂිතව වෙසක් පුන් පොහෝ දිනය ඉමහත් ශ්‍රද්ධාවෙන් අනුස්මරණය කරන අතරම වෙසක් පුන් පොහෝ දිනය හා සබැඳි චිරාගත බෞද්ධ ආගමික චාරිත්‍රයෝ ද බොහෝ පවතින හෙයින් වෙසක් පොහෝ දිනය සම්බන්ධ කාලවකවානු පිළිබඳ අතිශය සාවධානව කටයුතු කිරීමට යුහුසුලු වෙති.

“වෙසබනක්‍ඛත්තෙන ජාතො ච අභිසම්බුද්ධො ච පරිනිබ්බුතො ච” යන බුද්ධවංස අට්ඨ කථා පාඨයට අනුව සිද්ධාර්ථ කුමොරොත්පත්තියත්, සම්බුද්ධත්වයට පත්වීමත්, සම්බුද්ධ පරිනිවාර්ණයත් විසා නැකැතෙන්ම සිදුවී ඇති බව පැහැදිලි වේ. ඒ අනුව නක්‍ෂාත්‍රානුකූලව ද වෙසක් පුන් පොහෝ දිනය විසා නැකැතට යෙදෙන පසළොස්වක දිනකම යොදා ගැනීම චිරාගත චාරිත්‍රයයි.

2026 වර්ෂයේ මැයි මස 01 වන දින හා 30 යන දෙදිනම පසළොස්වක පොහොය දෙකක් යෙදෙන අතර දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයන්හි 2026.05.01 දින වෙසක් පුන් පොහෝ දිනය ලෙසද 2026.05.30 දින අධි පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ලෙසද යොදා ඇත. එහෙත් 2026.05.01 දිනට විසා නැකැත නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ත්‍රෛනිකායික මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාව නක්‍ෂත්‍ර ප්‍රවීණයන්ගේ ද අදහස් විමසා චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලව ද විසා නැකැත යෙදෙන 2026.05.30 දිනට උදාවන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස යොදා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

ඒ අනුව 2026.05.30 යෙදෙන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පුන් පොහෝ දිනය හා සබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යයන් හා රාජ්‍ය උත්සව ද 2026.05.30 දිනට යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමට කටයුතු කරන ලෙස හිතාධ්‍යාශයෙන් යුක්තව සිහිපත් කර සිටිම්හ.

චතුර පමුණුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *