Latest Articles
Search

මම ලබපු අමිහිරි අත්දැකීම් එක්ක මෙච්චර දේවල් මට ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවෙ නැහැ

92

 චමත්කා.. මේ දිනවල අජිත් පී ධර්මසූරිය අධ්‍යක්ෂණය කළ ඉන්ද්‍රා පතිරාජ නිෂ්පාදනය කළ ‘වර්ණ’ සිනමා පටය තිරගත වෙනවා. එම චිත්‍රපටයෙත් ඔබ රඟපානවා. අපි ‘වර්ණ’ ගැන කතා කරමු?

Advertisement

වර්ණ රූගත කිරීම් 2022 වසරෙදි පමණ සිදු කෙරුණා. ‘හුස්ම’ චිත්‍රපටය සහ ‘පියාඹන්න ආයෙත්’ චිත්‍රපට දෙක කළාට පස්සෙ මම සෑහෙන කාලයක් නිර්මාණවලට දායක වුණේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව වුණේ මගේ පුතයි. ඒ කාලය තුළදී මම වැඩි කාලයක් මගේ පුතා වෙනුවෙන් කැප කළා. ඒ කාලයට පස්සේ මට පොඩි සංයමයකින් වැඩකට දායක වෙන්න ඕනෑ වුණා. මම බලාපොරොත්තු වුණු විදිහටම මට පිටපතක් ලැබුණා. ඉතින් වර්ණ චිත්‍රපටයට දායක වෙන්න මම කැමති වුණා. ඊට පෙර මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. නමුත් මගේ බබාට ඒ කාලය දෙන්න ඕනෑ නිසා මම නිර්මාණවලින් ඈත්වෙලයි හිටියෙ. පුතාට අවුරුදු දෙකක් විතර ගියාට පස්සෙ මම නිර්මාණයක් බාරගන්න කැමති වුණා.

Advertisement

Q ‘වර්ණ’ අජිත් පී ධර්මසූරිය කුළුඳුල් අධ්‍යක්ෂණයයි. ඉන්ද්‍රා පතිරාජගේ කුළුඳුල් නිෂ්පාදනයයි. ඔවුන්ගේ කුළුඳුල් නිර්මාණයට ආරාධනා ලැබුණාම කාලයක් කෙටි නිහඬතාවකින් හිටපු ඔබ එයට දායක වෙන්න හේතු වුණු කරුණු මොනවාද?

Advertisement

ඒකට හේතුවක් වුණේ මේ චිත්‍රපටයේ ඉන්න අනිත් ප්‍රධාන චරිත තුනයි. මේ චිත්‍රපටය පුරාවට මා ඇතුළු චරිත හතරකින් දිවෙන නිර්මාණයක්. විශ්ව අයියගේ (විශ්ව කොඩිකාර) වෙනස් චරිතයක් නිරූපණය වෙනවා. ඒ වගේම ජයනි අක්කා (ජයනි සේනානායක) සහ ලක්ෂ්මන් අයියා (ලක්ෂ්මන් මෙන්ඩිස්) එක්ක වැඩ කරන්න ලැබෙන අවස්ථාව හරි ප්‍රබල වුණා. මම බොහෝ වෙලාවට නිර්මාණයක් තෝරාගනිද්දි මාත් එක්ක අනිත් චරිත රඟපාන්නෙ කවුද කියලා ටිකක් බලනවා. විශේෂයෙන් ප්‍රවීණයන්, මට වඩා රඟපෑමෙන් අත්දැකීම් ඇති අය එක්ක රඟපාන්න මම හරි කැමතියි. එතකොට ඔවුන්ගෙන් රඟපෑම තුළින් අපට බොහෝ අත්දැකීම් ලබාගන්න වගේම ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි නිර්මාණයක් කරන අතරතුර අපි යෙදෙන කතාබහෙන් අපිට ඔවුන්ගේ ඒ අත්දැකීම් ගැන දැනගන්න පුළුවන් වෙනවා. මම ඒ අත්දැකීම් හා අදහස් හුවමාරු කර ගැනීමට හරි කැමතියි. ඒ වගේම අජිත් අයියා සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමට අලුත් දෙයක් වුණාට ඔහු කලා ක්ෂේත්‍රය තුළ කාලයක් තිස්සේ නියැලුණු කෙනෙක්. ඔහු තුළ කලාව තියෙනවා. ඒ නිසා ඒ වගේ පුද්ගලයෙක් එක්ක වැඩ කරන්න බය වෙන්න ඕනෑ නැහැ.

Advertisement

Q චමත්කා චිත්‍රපටයේ රඟපාන්නෙ ජයනි සේනානායකගේ දියණිය විදිහටයි?

Advertisement

ඔව්.. ඒ කාලය පුරාවටම අම්මා කෙනෙක් ළඟ ඉන්නවා වගේ හැඟීමක් මට දැනුණා. කොහොමත් සැබෑ ජීවිතේ ගොඩක් වෙලාවට මට මගේ අම්මව මඟහැරුණා. ඒ පාළුව දැනුණා. ඒ ආදරය වගේම ආදරයක් මට ජයනි අක්කගෙන් ඒ පොඩි කාලය තුළදී වුණත් උපරිමයෙන් ලැබුණා. මාව පුදුම විදිහට ආදරයෙන් බලාගත්තා. ඒ වගේම මගේ චරිතයට අක්කගෙන් ලොකු සහයෝගයක් වගේම පුදුම ආශිර්වාදයක් ලැබුණා. ජයනි අක්කා වගේම ලක්ෂ්මන් අයියත් විශ්ව අයියත් මගේ චරිතය වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබා දුන්නා.

Advertisement

Q මේ දිනවල චමත්කා දායකවෙලා ඉන්න නිර්මාණ මොනවද?

Advertisement

මේ දවස්වල මම අවුරුදු ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලට සහභාගිවෙලා ඉන්නවා. ඊට අමතරව සෑහෙන කාලයකට පස්සෙ මම රූප රචනා කිහිපයකටම දායක වුණා. අවුරුද්ද පටන් ගනිද්දිම මම හිතුවාටත් වඩා වැඩ ටිකක් කළා කියලා හිතෙනවා.

Advertisement

Q අද වෙද්දි ඔබ පුංචි පුතා එක්ක ගත කරන කාලය කොහොමද?

Advertisement

මෙච්චර කාලයක් මම පුතා එක්ක තමයි වැඩිපුරම කාලය ගත කළේ. හැබැයි මම සම්මානයක් ගත්තට පස්සෙ පුතා එක්ක ඉන්න තිබුණු කාලය මඟහැරෙනවද කියලත් වෙලාවකට හිතෙනවා. පහුගිය කාලය තුළදී මම සෑහෙන කාර්යබහුල වුණා. ඒ වැඩ කරන්නෙ මම හරි ආසාවෙන්. හැබැයි සමහර තැන්වලදි බබාව ටිකක් මඟහැරෙන තැන් තියෙනවා. එයත් එක්ක ගත කරන්න තියෙන කාලය ටිකක් හරි අඩු වෙද්දි මට දුකයි. දැන් පුතාට වයස අවුරුදු හතරයි.

Advertisement

Q චමත්කාගේ නිර්මාණ පුතාට දකින්න ලැබෙන්නෙ නැතිවුණත් චමත්කා රංගන ශිල්පිනියක්. මිනිස්සුන්ගෙ ආදරය, ඒ ප්‍රතිචාර එයා දකිද්දි එයාගේ ප්‍රතිචාර කොහොමද? ඔයාට ලැබෙන විශේෂත්වය එයාට දැනෙනවද?

Advertisement

එයාට ඒ විශේෂත්වය දැනෙන්නෙ නැහැ. මට වටිනා යාළුවෝ සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස ඇතුළෙ තමයි පුතා හැදෙන්නෙ. එයාලගේ ආදරය රුකවරණය එයාට උපරිමයෙන් ලැබෙනවා. පුතා හරි සමාජශීලී දරුවෙක්. පුතා කුසේ ඉඳිද්දිම මම රංගන පාසලක වැඩ කළා. කෙටි චිත්‍රපටවල වැඩ කළා. ඒ නිසා එයා කුසේ ඉඳිද්දිම ”අම්මා කරන්නෙ කලාව” කියලා එයාට දැනෙන්න ඇති. ඒ නිසා මේ අවුරුදු හතර පුරාවට මම රූගත කිරීම්වලට ගියත් ”අම්මේ එන්නකෝ” කියලා එයා කියලා නැහැ. එයා මගේ සැමියා වගේම මාව දරාගන්න පුළුවන් පිරිමියෙක්.

Advertisement

Q අද පුතාගේ ලෝකයෙන් එදා ඔබගේ ළමා ලෝකය දිහා ආපස්සට බැලුවොත්?

Advertisement

මට තිබුණේ ඉතාම අඳුරු ළමා ලෝකයක්. ආර්ථික වශයෙන් ඒ කාලේ අපි හොඳ තත්ත්වයක ජීවත් වුණාට මම පුංචි කාලෙදිම මගේ තාත්තයි අම්මයි වෙන්වුණා. ඒ අතරේ මට ආපු සමහර ප්‍රශ්නත් එක්ක මට අතිශය සුන්දර ළමා කාලයක් තිබුණෙ නැහැ. හැබැයි මට නොලැබුණු ඒ ළමා කාලය මම මගේ දරුවාට ලබා දෙනවා. මට නොවුණු, මට නොලැබුණු, මම නොදැක්ක දේවල් මම දරුවාට ලබා දෙනවා. මම නොදැක්ක ලස්සන දේවල් මම දරුවාට බලන්න දෙනවා. මම කවදාවත් මගේ සැමියාට දරුවා ඉස්සරහ කෑ ගහන්නෙ නැහැ. ඒ අමිහිරි අත්දැකීම් මම මගේ ළමා කාලෙදි ඇති තරම් දැකලා තියෙනවා. ඒ වගේම මම හැම මොහොතකම ඕනෑම කෙනෙක්ට ගෞරව කරන්න මගේ දරුවාට කියලා දීලා තියෙනවා. එයා හැමෝගෙම ආදරය දිනාගත්ත දරුවෙක් විදිහට හැදෙනවා නම් මම ආසයි.

Advertisement

Q දවසක ‘හුස්ම’ චිත්‍රපටය පුතාට දකින්න ලැබුණොත්?

Advertisement

එයා බලයි. පුංචි කාලෙ ඉඳන් මගේ අම්මා රංගන ශිල්පිනියක් කියලා කියන්න පුතා දන්නවා. ඒ වගේම මගේ අම්මා චරිතාංග රංගන ශිල්පිනියක් කියලා කියන්නත් එයා දැනගනීවි. ‘හුස්ම’ චිත්‍රපටය ගැන එයාට කවදාවත් ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නැහැ. ‘හුස්ම’ වෙනුවෙන් මට ජනාධිපති සම්මානයක් ලැබුණා. ‘හුස්ම’ කණ්ඩායම වෙනුවෙන් සම්මානයක් නොලැබුණා නම් අපි කළ කැපකිරීම වැඩක් නැහැ. බොහෝ නිර්මාණවලට අපේ කාලය ශ්‍රමය තමයි අපි කැප කරන්නෙ. නමුත් හුස්ම වෙනුවෙන් මම, දසුන්, පුබුදු, ඉසුරු අපේ ආත්මය පවා කැප කළා. ඉතින් ඒ නිසා මගේ දරුවා ”අම්මේ ඇයි ඔයා හුස්ම කළේ” කියලා කවදාවත් මගෙන් අහන එකක් නැහැ.

Advertisement

Q අද ගත කරන ජීවිතය ගැන චමත්කා මොකද හිතන්නෙ?

Advertisement

මගේ ජීවිතේ ගැන මම හරිම සතුටු වෙනවා. ජීවිතේ මම ලබපු අමිහිරි අත්දැකීම් එක්ක මෙච්චර දේවල් මට ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවෙ නැහැ. මොන දේ ලැබුණත් මම බිරිඳක් අම්මා කෙනෙක් කියලා හැම මොහොතකම හිතනවා. මේක තමයි මගේ ලෝකය. සමහර කාලවලදි මම මේ විදිහේ ජීවිතයක් ගත කරාවි කියලා කවදාවත් හිතුවෙ නැහැ. වාහනයක රියැදුරු අසුනක මට ඉන්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ. අපි මධ්‍යම පාන්තික පවුලක්. අපි බස්වල ගියපු අයයි. අපිට වාහනයක් තිබිලා නැහැ. ඒ දේවල් එක්ක මගේම වාහනයක් මටම පදවාගෙන යන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. ඒ අතින් මේ පොඩි වයසට ජීවිතේ සෑහෙන දුරක් මම ඇවිත් තියෙනවා. ඒ නිසා මගේ ජීවිතේ ගැන අද මට සතුටුයි.

Advertisement

I දිශානි

Advertisement

Advertisement

Advertisement

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *