සාත්තු සේවයට විදේශගත වෙන්න ඉන්න අයට සුබ පණිවුඩයක්

3161

වසර තුනක හෝ පහක හෝ ඊටත් වැඩි කාලයකට සාත්තු සේවයේ රැකියාවකට විදෙස්ගත වන කිසිවකු නැවත විදෙස් ගත වීමට අදහස් නො කරන ලෙසත්, තමන් ලබන ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කරගෙන ඉහළ මට්ටමේ සාත්තු සේවා ආයතන ආරම්භ කරන් ලෙසත්, ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් සහ සහාය දීමට රජය සූදානම් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

Advertisement

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ඊශ්‍රායලයේ නිවාස ආශ්‍රිත සාත්තු සේවාව සදහා පිටත් ව යන 13, 14 සහ 15 වැනි කණ්ඩායම්වල රැකියා අපේක්ෂකයන් අමතමින්.

Advertisement

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, “ඔබ රැකියාව අවසන් කරලා ආපහු එන දවසක නැවත රැකියාවක් කරන්න හිතන්න එපා. තවත් කෙනකුට රැකියාවක් දෙන ව්‍යවසායකයෙක් වෙන්න. සාත්තු සේවය කියන්නේ ලෝකයේ ඉහළ ම ඉල්ලුමක් සහ පිළිගැනීමක් තියෙන ක්ෂේත්‍රයක්. සාත්තු සේවයෙන් ඩොලර් ගේන්න විදෙස්ගත වෙන්න ම ඕනේ නෑ. ඔබ ආපහු ඇවිත් ඔබේ ම කියලා සාත්තු සේවා ආයතනයක්, පුහුණු පාසලක් ආරම්භ කරන්න දැන්ම ම සැලසුම්කර ගන්න. ඔබ ලබන ජාත්‍යන්තර අත්දැකීම් මගින් ඉහළ ප්‍රමිතියේ සේවා සපයන ආයතනයක් ආරම්භ කරන්න ඔබට හැකිවෙයි. ඒ වගේ ආයතනයක සැදෑ සමය ගෙවන්න ලෝකයේ කෝටි ප්‍රකෝටිපතියෝ බලාගෙන ඉන්නවා. ඔබට පුළුවන් ඒ හරහා අනාගතයේ රටට ඩොලර් උපයන්න.” යනුවෙන්.

Advertisement

තව ද, “ඒ සදහා සාත්තුසේවා සංචාරක අංශය වැඩි දියුණු කරන්න අපි සූදානම්. ජාත්‍යන්තරයේ සිටින බොහෝ පිරිස් තමන්ගේ විශ්‍රාම ජීවිතය ලංකාව වගේ රටක ඉහළ සුවසේවා සත්කාර විදිමින් ගත කරන්න කැමැතියි. ඒ සදහා අවශ්‍ය තරම් වියදම් කරන්නත් ඔවුන් සූදානම්. ඒ වගේ ම විදේශයන් හි පදිංචි ශ්‍රී ලාංකිකයන් තමන්ගේ දෙමව්පියන් ඉහළ පහසුකම් සහ සේවා සත්කාර සපයන්න අපේක්ෂාවෙන් ඉන්නේ. හැබැයි අපට තවම ඒ සදහා ප්‍රමාණවත් අත්දැකීම් සහිත ව්‍යවසායකයන් නෑ. ඔබට කාමර පහ හයකින් හරි මේ දේ පටන් ගන්න පුළුවන් නම් ඒ සදහා රාජ්‍ය අංශයෙන් ලැබිය යුතු සියලු පහසුකම් සහ සහාය ලබා දෙන් අපි සූදානමින් ඉන්නවා. ඒ නිසා සාත්තු සේවයට යන ඔබ ලංකාවට ආව දවසක නිකමෙක් වෙන්න එපා. මේ ක්ෂේත්‍රයේ ම ප්‍රවීණයෙක් විදියට පියවරක් ඉදිරියට එන්න. මහළු නිවාස සංකල්පයෙන් මිදිලා සත්කාරක නිවාස සංකල්පයට යන්න. එමගින් ඔබට මේ රටට මහා ධනස්කන්දයක් අරගෙන එන්න පුළුවන්කම ලැබෙනවා විතරක් නෙවෙයි බොහෝ පිරිසකට රැකියා ලබා දෙන්නටත් හැකි වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *