බවුසරය සහ ත්‍රිරෝදය මුහුණට මුහුණ ගැටී එකොළොස් හැවිරිදි දියණිය මරුට – පියාට බරපතළයි – මව සහ පුත්‍රයාත් රෝහලේ

220

රඹෑව දෙස සිට මැදවච්චිය දෙසට දිවෙන මහනුවර – යාපනය ඒ-09 මාර්ගයේ රඹෑව ඉතිරිගොල්ලෑව ප්‍රදේශයේදී ඉන්ධන රැගත් බවුසරයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ සිව්දෙනෙක් අනතුරට ලක්වූ අතර මෙම අනතුරින් එකොළොස් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මැදවච්චිය පොලිසිය පැවසීය.

ඉන්ධන බවුසරය මැදවච්චිය දෙසට ගමන් කරමින් තිබුණු අතර ත්‍රිරෝද රථය අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබීයදී මුහුණට මුහුණ ගැටී ඇත. තුවාල ලැබූ අනෙකුත් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට අතුළත් කර ඇති අතර මියගිය දරුවාගේ පියා දැඩි සත්කාරකයේ ප්‍රතිකාර ලබන බව මැදවච්චිය පොලිසිය පැවසීය.

පසුගිය ඇසළ පොහොයදා (20 දා) දහවල් කාලයේදී මෙම අනතුර සිදුවූ බව මැදවච්චිය පොලිසිය කියයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මැදවච්චිය පොලිස් බල ප්‍රදේශයේ යාය 05, වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා, දියණිය සහ පුතා යන අයයි.

සංගිලිකනදරාව විදුහලේ හයවැනි වසරේ (06) ඉගෙනුම ලබමින් සිටි ලංසක්කාර ගෙදර මිහින්දි නෙතුලිකා බංඩාර දියණිය මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

වයස අවුරුදු 32ක් වූ මවත්, වයස අවුරුදු හයක් වූ මලිත් නෙතුමිණ බංඩාර යන අයත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් මැදවච්චිය පොලීසිය පැවසීය.

මියගිය දියණියගේ පියා වන ලංසක්කාර ගෙදර අමිත් ඉන්දික බංඩාර යුද හමුදාවේ සේවයේ නිරත අයෙකි. ඔහුගේ උපන්දිනයද පසුගිය 20 වැනිදාට යෙදී තිබුණි. ඇසළ පොහොය නිසාත්, උපන්දිනය නිසාත් දරුවන් සහ බිරිඳ සමග අනුරාධපුර ප්‍රදේශයට ගොස් වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගෙන දරුවන්ට දන්සැල්වලින් ආහාරපාන ලබාදී ඔවුන් සමග සතුටින් කාලය ගත කිරීමත් අරමුණු කරගෙන එදින නිවසින් පිටත්ව ඇති බව මැදවච්චිය පොලිසිය පැවසීය.

අනතුරින් ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදුව තිබුණු අතර ඉන්ධන බවුසරය මාර්ගයෙන් ඉවතට පැන අසල වෙල්යායට පෙරළී තිබුණු අයුරු දක්නට ලැබුණි. ඉන්ධන බවුසරයේ තිබුණු ඉන්ධන වෙනත් බවුසරයකට මාරු කිරීමට කටයුතු කෙරිණි.

මැදවච්චිය පොලිසිය ඉන්ධන බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ මැදවච්චිය පොලිසිය සිදු කරයි.

රඹෑව – දිසානායක, මැදවච්චිය – ගයාන් සහ මිහින්තලේ – රංග චතූ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *