හොරණ, මොරගහහේන, මාලොස්ඇල ප්‍රදේශයේදී පෙරේදා දහවල් ද්විත්ව ඝාතනයක් සිදුකර පලා යමින් සිටි ගුවන් හමුදා කෝප්‍රල්වරයකු ඊයේ අලුයම අංගමුව මංසන්ධියේදී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මරුමුවට පත්වුණා.
රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සක්‍රීය සේවයේ යෙදී සිටින පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් නමැති 33 හැවිරිදි අයකු මෙසේ මියගොස් ඇති අතර ඔහු ගුවන් හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්.
ඔහු සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.
දිලංක ලක්මාල් රාජපක්ෂ හෙවත් එස්.එෆ් කලූ නමින් හඳුන්වන අදාළ පුද්ගලයා මොරගහහේන ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනය මෙහෙයවූ හඳයා නම් අපරාධකරු සමග සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළා.
එසේම පොලිසිය පැවසුවේ එස්.එෆ් කලූ නැමැත්තා හඳයා නම් අපරාධකරුගේ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම හෝමාගම හා පාදුක්ක ප්‍රදේශ වල මෙහෙයවන පුද්ගලයා බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අනාවරණය කරගෙන ඇති බවයි.
එසේම ඔහු අධික ලෙස හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බවටද මේ වනවිට අනාවරණය වී තිබෙනවා.



















