වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර පෙම්වතකු සමග මාස දෙකක් දුරකථනය ඔස්සේ පෙම් කර ඔහු දුටු මුල් දිනයේදීම ඔහු සමග ගොස් පෙම්වතාගේ නිවෙසේ දින 10ක් අඹුසැමියන් ලෙස ජීවත්ව සිටියදී මඩාටුගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ 15 හැවිරිදි පාසල් සිසුවියක රුපියල් ලක්ෂ 50ක් වටිනා බැදුම්කරයක් මත ඇයගේ මවට භාරදෙන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ නියෝග කළා.
එසේම 15 හැවිරිදි දැරිය සිය නිවෙසට රැගෙන ගිය බාල වයස්කාර පෙම්වතා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇපයක් මත මුදාහරින ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කැකිරාව මහේස්තාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්නට වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.
සැකකාර බාල වයස්කාර පෙම්වතා සහ පෙම්වතිය අධිකරණයට ඉදිරිපත් කරමින් මඩාටුගම පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මේ බාලවයස්කරුවන් දෙදෙනාට අඹු සැමියන් ලෙස තම නිවෙසේ ජීවත් වීමට ආධෘර අනුබල දුන් බාලවයස්කාර පෙම්වතාගේ මවට සහ පියාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරගෙන යන බවයි.
මඩාටුගම පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන අතර ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න විසින් පරිවාස දෙපාර්තමේන්තුව මට්ටමින් තවත් වෙනම විමර්ශනයක් සිදුකරනවා.
අතුරුදන්ව සිටි මෙහෙණින් වහන්සේලා හමුවෙයි
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආරාමයකින් අතුරුදන්ව සිටි මෙහෙණින් වහන්සේලා තුන්දෙනා නුවරඑළිය ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.
ඒ ඔවුන් ඊයේ නුවරඑළිය පොලිසියට පැමිණීමෙන් අනතුරුවයි.
අවුරුදු 12, 15 සහ 18 වයස්වල පසුවන මෙහෙණින් වහන්සේලා සමග හාලි ඇල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් ද පොලිසියට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පෙරේදා (24) සිට මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩ විසූ මෙහෙණින් වහන්සේලා තුන් නමක් සහ අනෙක් කාන්තාව අතුරුදන්ව ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ වූයේ.
පොලිසියට පැමිණි අදාළ කාන්තාව බාල වයස්කාර මෙහෙණින් වහන්සේලා නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහෙණින් වහන්සේලා තුන් නම ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම මෙහෙණින් වහන්සේලා වැඩ සිටි ආරාමයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේගෙන් සිදුවන පීඩා හේතුවෙන් පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ කලකිරී එම ආරාමයේම නතරවී සිටි කාන්තාව සමග නුවරඑළියට පැමිණ ඇති බවයි.
ඔවුන් කිසිවෙකුට හෝ දැනුවත් කිරීමකින් තොරව ආරාමයෙන් පිටව ගොස් සැකකාර කාන්තාවගේ නුවරඑළිය නගරයේ පිහිටි ඥාති නිවසකට පැමිණ ඇති අතර එම නිවැසියන් විසින් මෙම පිරිස නුවරඑළිය පොලිසියට භාරදී තිබෙනවා.
පොලිස් භාරයට ගත් මෙහෙණින් වහන්සේලා තුන්දෙනා සහ සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා මිනුවන්ගොඩ පොලිසියට භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙහෙණි ආරාමයේ වැඩ වාසය කරන ප්‍රධාන මෙහෙණින් වහන්සේ විසින් මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් ඊයේ (26) මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබුණා.
මහණ වීමට අවශ්‍ය බව පවසමින් පැමිණි තරුණිය අනෙක් මෙහෙණින් වහන්සේලා තිදෙනා රැගෙන යන්නට ඇති බවට සැක කරන බවටයි උන් වහන්සේ පොලිසියට ප්‍රකාශ කර තිබුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
















