ඊයේ (04) රාත්‍රියේ බිබිල පුවක් පැළ රක්ෂිතය ප්‍රදේශයේ දී කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එහි ගමන් ගත් පිය පුතු දෙදෙනා තුවාල ලබා බිබිල සේනක බිබිලේ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව බිබිල පොලිසිය පවසනවා.
රෝහලට ඇතුළත් කරන විටත් දැඩි අසාධ්‍ය තත්වයේ සිටි 18 හැවිරිදි පාසල් සිසුවා නැති වී ඇති බවයි බිබිල රෝහල පවසන්නේ.
එම අනතුරින් බරපතළ තුවාල ලබා සිටින දරුවාගේ පියා මෙය වන විටත් බිබිල රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබන අතර බිබිල පොලිසිය සඳහන් කළේ මෙම අනතුරට හේතුව, වන අලියකු දැක කලබලයට පත් වී රථය පාලනය කර ගැනීමට නො හැකිව සිදු වූ අනතුරක් බවයි.
නැති වූ සිසුවාගේ පියා උපකාරක පන්ති ගුරුවරයකු වන අතර ඔහු උපකාරක පන්තියකට සහභාගි වී බිබිල සිට ඔවුන්ගේ නිවස වෙත පදියතලාව දක්වා ගමන් කරන අතරතුරයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.
18 වියැති පාසැල් සිසුවා ද හවස උපකාරක පන්තියකට සහභාගි වී පියා සමග මෙලෙස ගමන් කර තිබෙන අතර සිසුවා බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ 12 ශ්‍රේණියේ සිසුවෙක්.
සිද්ධිය සම්බන්ධව බිබිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.


















