ගල්ටැම්මණ්ඩිය පුරාණ රජ මහා විහාරය, වත්තල හුණුපිටිය චන්ද්‍රාරාමය යන උභය විහාරාධිපති බුත්තල පළාතේ ප්‍රධාන සංඝ නායක කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ විශ්‍රාමික මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේ විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත් වෙන පැල්පත්වාසී අඩු ආදායම්ලාභී පවුල් විස්සකට නව නිවාස ඉදිකිරීමට පියවර ගෙන ඇත.
උන්වහන්සේ විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී ලබාගත් වැටුපෙන් ඉතිරි කරගත් මුදල් උපයෝගී කර ගනිමින් මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ විස්සක් වැය කෙරේ.
ඔක්කම්පිටිය සහ කුඹුක්කන ප්‍රදේශවල පදිංචි පවුල් විස්සක් මේ සඳහා තෝරාගෙන ඇත. කුඹුක්කන ගංගාරාමාධිපති දැලිව පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේගේ සහ බුත්තල ව්‍යාපාරික සමාජ සේවක ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතාගේ සම්බන්ධීකරණය යටතේ නිවාසලාභීන් තෝරාගෙන ඇත.
නිවස ඉදිකිරීමේදී කිසිදු දේශපාලන මැදිහත්වීමක් කරන්නේ නැහැ. එකම සුදුසුකම පැල්පතක ජීවත් වීමත් නිවසක් ඉදිකර ගැනීමට ආර්ථික ශක්තිය නොමැතිකමත් පමණයි. සියයට සියයක් නිවැරදි පවුල් තෝරාගෙන නිවාසය ඉදිකරනවා. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ, ආහාර දෙන තැනැත්තා බලය දුන්නා වෙයි. වස්ත්‍ර දෙන තැනැත්තා වර්ණය දුන්නා වෙයි. කුඩ සෙරෙප්පු යාන වාහන දෙන තැනැත්තා සැපය දුන්නා වෙයි. පහන් පුදන තැනැත්තා නුවණැස දුන්නා වෙයි. (නිවස සදා දුන් තැනැත්තා සියල්ල දුන්නා වෙයි) යනුවෙන්. එය අර්ථවත් කරමින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.
නිවාස ඉදිකිරීමේ සම්බන්ධීකරණ කටයුතු කරන කුඹුක්කන ගංගාරාමාධිපති දැලිව පඤ්ඤාසේකර හිමියන්ට සහ මගේ පාසල් මිතුරෙකු වන ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතාට පුණ්‍යානුමෝදනා සිදු කරනවා යැයි මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක















