BREAKING NEWS
Search

විදුලිය පරිස්සම් කරන්න රෑට නිදාගන්න යනකොට රවුටරේ ඔෆ් කරන්න – සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති

27

එළඹෙන උත්සව සමයේදී විදුලිය අරපිරිමැස්මෙන් හා කාර්යක්ෂමව භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය ටී.එස්.ඩබ්.ජේ. බණ්ඩාර මහතා විශේෂ දැනුවත් කිරීමක් සිදු කළේය. එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ රාත්‍රී කාලයේ පවතින අධික විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා හැකි සෑම විටම රාත්‍රී කාලයේ සිදුකරන කටයුතු දවල් කාලයට මාරු කර ගැනීම හෝ රාත්‍රී කාලයේදී විදුලිය භාවිතය අවම කරගැනීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි.

දවල් කාලයේදී ජාතික පද්ධතියට සූර්ය බලශක්තිය විශාල වශයෙන් එක්වන බැවින් නිවාඩු කාලසීමාව තුළදී දිවා කාලයේ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් පැන නොනගින බව සභාපතිවරයා අවධාරණය කළේය. මේ හේතුවෙන් විශේෂයෙන්ම උත්සව සමයේ කැවිලි පෙවිලි සහ ආහාර පාන සකස් කිරීම වැනි කටයුතු සඳහා වැයවන විදුලිය හැකිතාක් දුරට දවල් කාලය තුළදී සිදු කිරීමට උත්සාහ කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

නිවෙස්වල භාවිත කරන රූපවාහිනී සහ කැසට් යන්ත්‍ර වැනි උපකරණ භාවිත නොකරන අවස්ථාවලදී ස්විචයෙන්ම ක්‍රියා විරහිත කර තැබීමට වගබලා ගත යුතු බවත්, විශේෂයෙන්ම රාත්‍රී නින්දට යන අවස්ථාවලදී රවුටර් (Routers) වැනි උපකරණ ක්‍රියා විරහිත කිරීමෙන් අනවශ්‍ය විදුලි වැයවීම් වළක්වා ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. තවද, අවුරුදු උත්සව සහ සාද වැනි උත්සව සංවිධානය කිරීමේදී ඒවා රාත්‍රී කාලයට වඩා දිවා කාලයේදී පැවැත්වීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත්, සාමාන්‍යයෙන් සවස 6 වන විට එවැනි උත්සව කටයුතු අවසන් කළ හැකිනම් එය විදුලි කළමනාකරණයට විශාල සහයෝගයක් වනු ඇති බවත් මහාචාර්ය ටී.එස්.ඩබ්.ජේ. බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *