2008.04.06 වැනිදා හරියටම අද වගේ දවසක වැලිවේරියේ තිබුණු මැරතන් තරගයට මමත් සහභාගි වුණා. තරගය ආරම්භ වීමේ සංඥාව ලැබෙනවාත් සමඟම විදුලි ආලෝකයත් සමඟ විශාල ශබ්දයක් ඇසුණා. මට පියවි සිහිය එනවිට මං සිටියේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින්. එදා ඒ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතය බේරුණත් ජීවිතේ ගෙවන්න “අද මම මුට්ට කරගහනවා” යැයි රන්පදක්කම්ලාභී මලල ක්‍රීඩකයකු වන ප්‍රීමස් රුද්‍රිගු ඊයේ (5 දා) දිවයින කාර්යාලයට විත් සඳහන් කර සිටියේය.
එදා ඒ බෝම්බ පිපිරීමෙන් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලෙ ඇමැතිතුමා, මෙරට ප්‍රවීණ මැරතන් ක්‍රීඩක කේ. කරුණාරත්න (මැරතන් කරු) ඇතුළු දහ දෙනෙකු මියගියහ.
මම එම තරගයට සහභාගි වුණේ එවකට ක්‍රීඩා අධ්‍යක්ෂ ලක්ෂ්මන් ඩී. අල්විස් මහතා කළ ආරාධනයකටයි. ඔහු මගේ ගුරු පියාණන්. විවෘත ධාවන තරගයක් නිසා එවකට ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රබලම ක්‍රීඩකයෝ 124 දෙනෙක් සහභාගි වුණා.
මගේ මව හිටියේ ආබාධිත තත්ත්වයෙන්. ඇයට කෘතිම පාදයක් ලබාගැනීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණෙන් තමයි මම එම තරගයට සහභාගි වුණේ.
මං ජීවිතය පුරා මලල ක්‍රීඩා රාශියකට සහභාගි වී සම්මාන සහතික පදක්කම් ලබාගෙන තියෙනවා. 1985 – අවුරුදු 19 න් පහළ මීටර් 10,000 – 3000 ගම්පහ දිස්ත්‍රික් ශූරතාව ලබාගත්තා. 2015 ජනාධිපති සම්මාන ලැබුවා. 2024 වයස 55 – 59 මීටර් 5000 ජාත්‍යන්තර මාස්ටර්ස් ප්‍රවීණ රන් පදක්කම ලබාගත්තා. මගේ මීළඟ බලාපොරොත්තුව 2026. මැයි 24 වෙනිදා පැවැත්වෙන ප්‍රවීණයන්ගේ මාස්ටර්ස් ජාත්‍යන්තර තරගාවලියේදී වයස 60 – 65 මීටර් 5000 සහ මීටර් 3000 තරගවලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් ලබාදීමයි. මේ වනවිටත් මං ඒ සඳහා පුහුණුවීම්වල යෙදෙනවා.
මම ජීවිතය රැකගන්න කරන්නෙ මෝදර පෞද්ගලික ආයතනයක දවසේ කුලියට අනියම් කොන්ත්‍රාත්කරුවකු ලෙස මුට්ට කරගැසීමයි.
හැමදාම මගේ කකුල්වල හයිය තියෙන තුරු රට වෙනුවෙන් දුවනවා. මා මෙතෙක් කිසිවක් බලාපොරොත්තු වුණ ක්‍රීඩකයෙක් නෙමෙයි. ඉතා අසීරුවෙන් ජීවිතය ගෙන යන නිසා කවුරු හෝ ආයතනයක් හෝ මට පිහිට වෙනවා නම් එය ක්‍රීඩාවටත් කරන සැලකිල්ලක් යැයි ප්‍රීමස් රුද්‍රිගු මහතා වැඩිදුරටත් පැවසීය.
ධම්මික සල්වතුර




















