2021 වසරේ සිදුවූ ඝාතන සිද්ධියක ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරු වන, ඝාතනයට ලක්වූ සඳුන් උදාර අල්විස් හෙවත් ”හාවා” නැමැත්තාගේ දේහය අද (06) පෙරවරුවේ ගොඩගනු ලැබීය.
ඒ, හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය ඉදිරියේදීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ”කුඩු සළිඳු”, ඔහුගේ සමීපතමයෙකු වූ ”කුඩු නිලංග” සහ ඔහුගේ සහායකයින් සිව්දෙනෙකු සමග 2021 වසරේදී පානදුර පිංවල සුසාන භූමියේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස හාවා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සඳුන් උදාර අල්විස් නමැත්තා අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.
පොලිසිය පැවසුවේ, කුලී ත්‍රිරෝද රථ රියදුරෙකු වූ ඔහු 2024 වසරේ අගෝස්තු මස 3 වැනිදා ගැබිනි කාන්තාවක සමග කුලී ගමනක් ගොස් ඇති අතර පසුව අතුරුදන්ව ඇති බවය.
ඒ අනුව සඳුන් උදාර අල්විස් නමැත්තාගේ බිරිඳ වන චතුරි ලක්ෂානී නැමැත්තිය හිරණ පොලිසිය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.
සිද්ධියට අදාළව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ” හාවා” නැමැත්තා ඝාතනයට ලක්ව ඇති බවය.
පිංවල සුසාන භූමියේදී පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධ නඩුවේ ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිය විනාශ කිරීමට ”කුඩු නිලංග” ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මෙම ඝාතනය සිදුකර ඇති බවද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව මෙම ඝාතනය සිදුකළ බවට පැවසෙන පුද්ගලයා සහ ඝාතනයට සහායදුන් බව පැවසෙන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මළසිරුර හොරණ තිබ්බොටුගොඩ සුසාන භූමියේ වළ දමා ඇතැයි සිදුකරගත් අනාවරණය මත දේහය ගොඩගැනීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ, මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සේවකයන් විසිනි.
ඒ අනුව මළසිරුර හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය ඉදිරියේ ගොඩගනු ලැබීය.




















