කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයෙදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයට පෙරලී තිබේ.
අද (02) අලුයම 1ට පමණ සිදු වූ මෙම අනතුරින් එම වෑන් රථයේ ගමන් ගත් 5 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කල බව කොත්මලේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා පැවසීය.
මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ නාය ගිය ස්ථානයට සහ ලංගම බස් රථ අනතුර සිදු වූ ස්ථානයේ ආසන්නයේදීය.
යතුරුපැදි අනතුරක් සම්බන්ධයෙන් තුවාල ලැබූ පුල්ගලයෙකු බැලීමට ගොස් කොත්මලේ තවලන්තැන්න දක්වා ආපසු ධාවනය වෙමිත් තිබු වෑන් රථයයේ එකම පවුලේ සිව් දෙනෙකු සහ තවත් අයෙකු ගමන් කර ඇති බවත්, වෑන් රථය ධාවනය කර ඇත්තේ වෑන් රථයේ හිමිකරු බව පොලීසිය පවසා ඇත.
රියදුරුට නින්ද යැමෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව සඳහන් වෙයි.
අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ අයිතිකරුගේ පුතෙකු ප්‍රධාන මාර්ගයට පිවිස මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් නතර කර තම මව පියා සහ අනෙක් පුද්ගලයා රෝහල් ගත කිරිමට සහයෝගය ඉල්ලා ඇති බවත්, පසුව ඒ බව කොත්මලේ පොලීසිය වෙත දැනුම් දීමෙන් පසු කොත්මලේ පොලීසියේ නිළධාරින්ගේද සහයෝගය ඇතිව තුවාලකරුවන් රෝහල්ගත කර ඇත.


















