සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කළ බව පවසමින් ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ රංගන ශිල්පිනි හර්ෂි රසාංගා වෙත එන්තරවාසියක් (Letter of Demand) යොමු කර තිබෙනවා.
අදාළ රන් මාලය උකස් කර ඇති බව අධිකරණය හමුවේ පිළිගෙන පසුව සමාජ මාධ්‍ය තුළ ඊට පටහැනි ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මෙම නීතිමය පියවර ගත් බව භානුකගේ නීතිඥ කණ්ඩායම පවසනවා.
රුපියල් ලක්ෂ 9කට වඩා වටිනාකමකින් යුත් මෙම රන් මාලය ඇය ලබාගෙන පසුව ඔහුගේ අනුදැනුමකින් තොරව උකස් කළ බවටයි භානුක රාජපක්ෂ මීට පෙර චෝදනා කළේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියා.
අධිකරණයේදී විත්ති පාර්ශවය දැනුම් දුන්නේ අදාළ රන් මාලය උකස් කර ඇති බවත්, එය බේරාගෙන නැවත ලබා දීමට කටයුතු කළ හැකි බවත්.
කෙසේ වෙතත්, පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, එම මාලය පුද්ගලික සබඳතාවක් මත තමන්ට ලැබුණු තෑග්ගක් බවයි.
අදාළ රන් මාලය පොලිස් භාරයට ගෙන අප්‍රේල් 22 වැනිදා පැවැත්වෙන මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා තලංගම පොලිසියට නියෝග කර තිබෙනවා.



















