BREAKING NEWS
Search

සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි !කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි !

3

2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීමේ චෝදනාවට අදාළ නඩුවේ ඊයේ (මාර්තු 30) හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙද්දී, නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් එක් විත්තිකරුවෙකු නඩුවෙන් නිදහස් කෙරිණි.

ඒ අනුව මෙම නඩුවේ තෙවන විත්තිකරු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි ව නිදහස් කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 194 වන වගන්තිය යටතේ නීතිපතිවරයා කළ ඉල්ලීමක් මත ඔහුව නඩුවෙන් මුදා හැරීමට අධිකරණය තීන්දු කළේය.

මෙම වගන්තිය මගින් නීතිපතිවරයාට හිමිවන විශේෂ බලය වන්නේ, නඩුවක ඕනෑම අවස්ථාවක යම් විත්තිකරුවෙකුට එරෙහිව ඇති චෝදනා පවත්වාගෙන නොයෑමට (Nolle Prosequi) තීරණය කිරීමයි.

මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවලදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා දිගින් දිගටම අවධාරණය කළේ මෙම වංචාව සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනාම එකසේ වගකිව යුතු බවයි. විශේෂයෙන් තෙවැනි විත්තිකරු ගේ සහාය නොතිබෙන්නට මෙය අනෙක් විත්තිකරුවන්ට තනිව සිදුකළ නොහැකි බවයි. එබැවින් තිදෙනාටම එරෙහිව නඩුව පවත්වාගෙන යා යුතු බව ඔහු දැරූ ස්ථාවරය විය.

නමුත් මාර්තු 30 වනදා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට පැමිණ සිටියේ නැති අතර ඒ වෙනුවට අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ලක්මාලි කරුණාරත්න නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත්ව සිටියාය .

කෙසේ වෙතත් ඇය මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුව දැරූ ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් නන්ද මල්ලවාරච්චි මහතා නිදහස් කිරීමට අදාල ඉල්ලීම ඉදිරිපත් කළාය.

වැඩිදුරටත් දැනගන්නට ඇති ආකාරයට ඉදිරියටත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙම නඩුවට අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ලක්මාලි කරුණාරත්න මෙහෙයවීමට නියමිතය .

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් පසුගිය සමයේ ප්‍රසිද්ධ වූයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා වැඩිම ලකුණු ලබා සිටියද, ඔහුට එම පත්වීම හිමි නොවී රංග දිසානායක මහතා පත් කිරීමත් සමඟය.

කෙසේ වෙතත් මෙම නඩුවට අදාලව නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය මුළුමනින්ම වෙනස් වීමත් පිටුපස කිසියම් “අදිසි හස්තයක්” ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව මේ වන විට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තුළද සැකසංකා මතු වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පිළිගනිමින් තෙවැනි විත්තිකරු නඩුවෙන් ඉවත් කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 194.1 යටතේ තෙවැනි විත්තිකරු නඩුවෙන් ඉවත් කිරීමට අවසර දුන්නත් එය නිදොස් කර නිදහස් කිරීමක් නොවන බවද අවධාරණය කර ඇත.

තවද මූලික විරෝධතා ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා පෙන්වාදී ඇත්තේ අල්ලස් කොමිසම මීට පෙර නඩු පවරා තිබුණේ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වුවද, නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 170 වන වගන්තිය යටතේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් බවයි.

මෙම චෝදනාවල සංඝටක එකිනෙකට වෙනස් බැවින්, එක් නඩුවකින් දඬුවම් ලැබීම අනෙක් නඩුව පවත්වාගෙන යාමට බාධාවක් නොවන බව පවසමින් විනිසුරුවරයා, හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළේය.

මෙම නඩුව ජූනි මස 26 වනදා නැවත කැඳවීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *