ගෑස් ලොරිය එන බව කීවද තවමත් නොපැමිණි නිසා ඔහු යාබද සිටි ඇහැට කනට පේන කතක සමග කදයක් පටන් ගත්තා. ඒ රටේ වත්මන් තොරතුරුයි. ගෑස් හිඟයෙන් පටන්ගෙන ඉරාන ඇමරිකානු යුද්ධය දක්වා ද එය දිග්ගැසී ගියා. මේ යුද්ධයෙන් ඉදිරියේ දී ලංකාවට ඇතිවන තත්වය පිළිබඳව ද දැන් දෙන්නා කෙස් පැලෙන තර්ක විතර්කය. ඒ සඳහා ඔවුහු එක එක තර්ක ඉදිරිපත් කරනවා.
ගෑස් පෝලිමේ සිටගෙන සිට තර්ක කළ මේ දෙන්නාට දැන් හොඳටම තෙහෙට්ටුයි. ඒ නිසාමදෝ ඔවුන් දෙන්නාම පෝලිමේ ළං ළංව තබා තිබූ හිස් ගෑස් සිලින්ඩර දෙක උඩ වාඩිවී කතාවට වටුණා. පෝලිමේ සිටි අනෙක් අය ද මෙවැනි කතාවලයි. එනිසාම පෝලිමේ අනෙක් අයට මේ දෙන්නාගේ කතාවට අවධානය යොමු නොවුණා.
ගෑස් පෝලිමට ගිය සැමියා දැන් හොඳටම ප්‍රමාද ය. ගෑස් ගේන්න ගිය සැමියා ගෑස් ගෙන ඒම පසෙක තියා බඩේ ගෑස් නැති කරන්න කඩේකට ගොස් හිස් ගෑස් සිලින්ඩරය සොරු අරන් ගියාවත් දැයි ඇයට ලොකු සැකයකි. මේ පිළිබඳව විමසීමක් කරන්නට ද ඇයට හැකියාවක් ද නොවුණා. ඒ ඔහු තමාගේ ජංගම දුරකතනය ද ගෙදර දමා යාම ඊට එක් හේතුවක් වී තිබුණා. ඒ නිසාම ඔහු පිළිබඳව සොයා බැලීමට ඇය ගෑස් අලෙවිසලට ගියා. එහි ගිය ඇයට දුර තියාම දක්නට ලැබුණේ ඔහු ඇහැට කණට පේන කතක සමඟ කතාවකයි.
දෙන්නා ළං ළංවය. කැකිරි පැලෙන සිනාද දෙන්නා අතරයි. මේ සමගම ඇයට උන්හිටි තැන් අමතක වුණා. ඇය ඔහු සමග සිටි කතගේ ඇඟට කඩා පැන්නා. ලැජ්ජා නැද්ද තමුසෙට මගේ මිනිහත් එක්ක මෙහෙම හැසිරෙන්න යයි කියමින් ඇය ගතු කීවා. තමාගේ හිසට මේ මොන මරාලයක් කඩා පාත්වුණා දැයි නොදත් ඇහැට කනට පෙනෙන කත හොල්මන් වුණා.
මේ කතගේ නිහඬතාවය ඇයට ලොකු ප්‍රහේලිකාවකි. ඒ නිසාම ඇය තවත් උරණවූවා ය. ඔහු හීන් සැරේ ටිකක් එහාට ගියා. සිය භාර්යාව නවත්වන්න ගියහොත් තමාට සෙනඟ ඉදිරිපිටම භාර්යාවගෙන් ගුටිකන්න වෙන බවදත් ඔහු මේ තියරිය අනුගමනය කළේය. පිරිසගේ සිනා හඬ පැතිරේ.
මෙය බලා සමහරු මහ හඬින් සිනාසුණා. තවත් අය හුරේ දමයි. දැන් එතන එකම ගාල ගෝට්ටියක්. ගෑස් අලෙවිකරු ද මෙතනට ආවේ ඔය අස්සේයි. ඔහු දෙන්නටම දැඩි අවවාද කළා. ඔහු එතනින් නික්ම ගොස් තිබුණා. දැන් හිස් ගෑස් සිලින්ඩරය සමග පෝලිමේ සිටියේ ඔහුගේ භාර්යාවයි. ලුණු නැතිව අනුන්ගේ පරිප්පු කන්නට වූ කත මුහුණ රතු කරගෙන තවදුරටත් පෝලිමේයි.

















