අද (09) සවස වාද්දුව දුම්රිය ස්ථානයත් පින්වත්ත දුම්රිය ස්ථානයත් අතර පිහිටි දුම්රිය පාලම් මතදී විදෙස් සංචාරකයින් දෙදෙනෙක් සහ මෙරට පුද්ගලයින් තිදෙනෙකු අනතුරට ලක්වීමෙන් එක් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ,එංගලන්ත ජාතික වයස අවුරුදු 70ක පමණ පුද්ගලයෙකු බව පින්වත්ත පොලීසිය පවසයි.
සංචාරකයින් දෙදෙනා සමඟ මෙරට පුද්ගලයින් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු එම ප්‍රදේශය ආසන්නයේ වෙරළ තීරයට ගොස් එම පාලම මතට ගොස් සිරි නරඹමින් සිට ඇත.
ඔවුන් සිතා ඇත්තේ එම පාලම භාවිත නොකරන පාලමක් බවටය.
කෙසේවෙතත් එම අවස්ථාවේ දී බෙලිඅත්ත සිට නුවර දක්වා ධාවනය වන ශීඝ්‍රග්‍රාමී දුම්රිය එම මාර්ගයෙන් ගමන් කිරීමේ දී කලබලයට පත් මෙම පිරිස දුම්රිය මාර්ගයෙන් ඉවත්වීමට යෑමේ දී මෙලෙස අනතුරට ලක්ව තිබේ.
එහිදී විදෙස් ජාතිකයා දුම්රියේ ගැටී පින්වත්ත ඇළට වැටී ඇති අතර, එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
අනෙක් පිරිස දුම්රිය පාලමෙන් පින්වත්ත ඇළට පැන ජීවිතය බේරාගෙන තිබේ.
එහෙත් ඒ අතරින් විදෙස් ජාතික කාන්තාව සහ තවත් කුඩා දරුවෙකු, පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.



















