BREAKING NEWS
Search

දුවව බඳින්න කතාකර ගන්න එයාලගේ නෑදෑයොත් එක්ක මෙහෙ එන්නම් කියලත් කිව්වා

3336
හොරණ, බුලත්සිංහල හරහා මතුගම ප්‍රධාන මාර්ගයේ ගෝවින්න, පහළ නාරගල පාලම ආසන්න වෙදගෙවත්ත ප්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබුණේ හද කම්පා කරවන පුවතක්. ඒ එම ප්‍රදේශයේ පදිංචි නදීකා මහත්මියගේ දියණියට සිදු වී ඇති අනපේක්ෂිත විපත නිසයි.
එම නිවෙසට කවුරුත් වැල නොකැඩී ඇදී ආවේ ඇගේ දියණියගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි යන පුවත දසතපුරා රැව් පිළිරැව් දීමත් සමඟයි‍.

උසට සරිලන මනා රූසපුවකට හිමිකම් කී රෙෂිකා ගිම්හානි තවමත් 25 හැවිරිදි වියේ පසුවූ සුන්දර යුවතියක්. ඇයට මෙම ඉරණම අත් වී තිබුණේ ඇගේ පෙම්වතා අතින් වීම කාගේත් කුතුහලයට හේතුවන කාරණයක් වී තිබිණා.

අසල්වැසි කාගේත් හිත දිනාගෙන කටයුතු කළ ගිම්හානි හැදී වැඩුණේ පවුලේ එකම දරුවා ලෙස ඥාතීන්ගේ ආදරය ද නොඅඩුව ලබමින්.

ඇයට සිදුව තිබූ අනපේක්ෂිත විපත පිළිබඳව ගෝවින්දගන, පහල නාරගල, මහගෙවත්ත ප්‍රදේශයේ පදිංචි ඇගේ ලොකු අම්මා වන නිරංජලා ප්‍රසාදිනි මහත්මිය හැඬු කඳුළින් මෙසේ පැවසුවා.

“මේ නැතිවෙලා ඉන්නේ මගේ නංගි නදීකා ප්‍රියදර්ශනී ගේ (46) එකම දරුවා ගිම්හානියි. දුවගේ තාත්තා නැතිවෙන කොට දුවට අවුරුදු පහක් විතර ඇති. එදා ඉඳලා දුවව හදාගන්න නංගී නොවින්ද දුකක් නෑ. මේ ගෙදර හිටියේ මගේ නංගියි ගිම්හානි දුවයි අපේ අම්මයි අපේ මල්ලියි විතරයි. අම්මට අපි කිව්වෙ සුදු අම්මා කියලයි. මල්ලිට ටිකක් මානසික ආබාධ ගතියක් තියෙනවා. එයා බැඳලා නැහැ. මහත්තයා නැති වුණාට පස්සේ නංගි ගාමන්ට් එකක වැඩට ගියා. ගිම්හානි දුවව හැදුවේ සුදු අම්මයි. ඒ නිසා සුදු අම්මට පණ වගේ දුව ආදරෙයි.”
නිරංජලා මහත්මිය නිවෙසට පැමිණෙන ඥාතීන්ට කතා කරන අතරම පැවසුවාය.

ගෝවින්න කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති ගිම්හානි උසස් පෙළ සඳහා තෝරාගෙන ඇත්තේ හොරණ මේධංකර මහා විද්‍යාලයයි. කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි ඇයට විශ්ව විද්‍යාල වරම් අහිමි වෙද්දී ඉංග්‍රීසි භාෂාව සමග පාඨමාලා කීපයක් හැදෑරීමට කටයුතු කර ඇත්තේ රැකියාවකට අවශ්‍ය පසුබිම සකසා ගැනීම සදහාය.ඒ අතරම ඇය එම ප්‍රදේශයේ ඇගළුම් ආයතනයක රැකියාවක් සොයා ගැනීමට ද කටයුතු කර තිබුණා.

“දුව ගොඩක් කැමති වුණේ සාත්තු සේවය වගේ රස්සාවක් කරන්න. එයාගේ සුදුසුකම් අනුව රස්සාවක් හොයාගන්න බැරි වුණා. ජොබ් එකක් හරියනකම් ඉගෙන ගන්න ගමන් මේ පැත්තේ ගාමන්ට් එකකට ගියා. ඊට පස්සෙ තමයි කහතුඩුවේ ගාමන්ට් එකේ වැඩට ගියෙ. එහෙ වැඩට ගිහින් දැන් අවුරුද්දක් විතර වෙනවා. වැඩට ගිය මුල් කාලෙදිම වගේ තමයි ඔය පිරිමි ළමයත් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තියෙන්නේ. ඒ ගැන අපිටත් කියලා තියෙනවා. දැනට මාසෙකට කලින් සුදු අම්මා නැතිවුණා.

සුදු අම්මගේ මළ ගෙදරටත් ඒ ළමයා ආවා. එදා මාත් එක්කත් කතා කළා. එයා බැඳලා ඩිවෝස් වෙලා කිව්වා. ළමයි නැහැ කිව්වා. පවුලෙ තව බැදපු අක්කා කෙනෙක් ඉන්නවා. එයා අම්මත් එක්ක ඉන්නේ කියලත් කිව්වා. සුදු අම්මගේ තුන්මාසේ දානේ ඉවර වුණාම දුවව බඳින්න කතාකර ගන්න එයාලගේ නෑදෑයොත් එක්ක මෙහෙ එන්නම් කියලත් කිව්වා. දුව ඒ ළමයා එක්ක ගෙදරදි කතා කරන්නේ හොරෙන් නෙමෙයි. අපිටත් ඇහෙන්න ස්පීකර් දාලයි.

සුදු අම්ම නැතිවුණාට පස්සේ දුව හරි දුකින් හිටියේ. මානසිකව ගොඩක් වැටුණා. හැමදාම එයා වැඩට ගිහින් එනකං සුදු අම්මා ඉස්සරහ පුටුවට වෙලා ඉඳගෙන මග බලාගෙන ඉන්නවා. රෑ වෙලා නා ගන්නකං ළඟට වෙලා ඉන්නවා. බත් ටික කවනවා. ඉතිං අම්මට නෙමෙයි දුව ලංවෙලා හිටියේ සුදු අම්මටයි.

මේ ටිකේම දුව ගෙදර ආපු ගමන් කළේ සුදු අම්මගේ ෆොටෝ එක තුරුල් කරගෙන ඇදට වෙලා අඩ අඩ ඉන්න එකයි. එයා අර ළමය එක්ක ගෙදරදි කතා කරන එකත් අඩු කළා. “පොඩ්ඩක් ඉවසන්න. මං ඔයත් එක්ක මුළු දවසම වැඩපළේදී එකට බත් එක කනවා. කතා කරනවා. පැය අටක් එකටම ඉන්නවනේ. ගෙදර ඇවිත් ඉන්න ටිකට මට සුදු අම්මත් එක්ක ඉන්න දෙන්න”. කියල දුව එයාට කිව්වා. මෙයාලගෙ ආදරේ අඩුකමකට නෙමෙයි. දුව රෑට කතා නොකරන එකට තමයි මේ තරම් දරුණු දෙයක් කළේ. දුව මග අරිනවා කියල එයා සැක කරන්න ඇති. සුදු අම්මවයි අසනීප මාමවයි බලාගෙන හරි සැහැල්ලුවෙන් හිටපු ළමයට අන්තිමට වුණේ අපිව දාලා තනියම යන්න.

මේ දේ අහනකොටත් අපිට පුදුම හිතුනා මේ තරම් දරුණු කෙනෙක්ද එයා කියලා. දුවන මරල දාලා පැනලා ගිහිල්ලා. පොලිසිය එයාව අල්ල ගත්තත් නැතත් අපට ඇති වැඩක් නෑ දැං. අපේ ළමයා අපිට නැතිවෙලා ඉවරයිනෙ දැං.
දුවව ළගදිම කණ්ඩායම් නායිකා තනතුරට උසස් කරන්නයි තීරණය කර ගෙන හිටියෙ කියල ගාමන්ට් එකෙන් ආපු මිස් අපිත් එක්ක කිව්වා. ඒ තරං කැප වෙලා අවංකව රස්සාව කරපු ළමයෙක් අපේ දුව. එයාගෙ ජීවිතේ හොදම කාලෙදි මේ විදිහට විනාශ වෙච්ච එක ගැන අපට තියෙන්නෙ කියන්න බැරි තරම් වේදනාවක්.”

පසුගිය 04 දා සුපුරුදු පරිදි උදෑසන රැකියාවට ගිය ගිම්හානි ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වී ඔවුන්ගේ අත් බෑග් තබන ස්ථානයට ගමන් කරන විට මෙම සැකකරු විසින් ඇගේ ගෙල කපා පලා ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

බදුල්ල, කැප්පෙටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු කහතුඩුව, ප්‍රගති මාවතේ උක්කොටුව පාරේ තාවකාලිකව නවාතැන් ගෙන රැකියාවට පැමිණ ඇති අතර සිද්ධියෙන් පසුව ඇඳුම් බෑගයද රැගෙන පලා ගොස් තිබූ බවට පොලිසිය පවසනවා.

තමන් සේවය කරන ඇඟලුම් ආයතනයේම රැකියාව කළ පෙම්වතා ගේ දරුණු පිහි ප්‍රහාරයෙන් මියගිය රෙෂිකා ගිම්හානි පසුගිය 06 දා වෙදගෙවත්ත පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියේ ඥාතීන් මෙන්ම දහසක් මිතුරුමිතුරියන්ගේ දෙනෙත් කඳුළින් පොඟවා තබමින්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *