ශ්‍රී ලංකා භූමිය, මුහුදු කලාපය මෙන්ම ගුවන් කලාපයන් කිසිසේත්ම රාජ්‍යයන් අතර ගැටුමකදී පක්ෂපාතී ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් යොදා ගැනීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (5) රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය.
ලංකාව ජාතියක් මෙන්ම රාජ්‍යයක් ලෙස මධ්‍යස්ථ බව ආරක්ෂා කරන අතරම මනුෂ්‍යත්වය අංක එකෙහි තබා ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඉරාන නෞකාව ශ්‍රී ලංකා රජය භාරයට ගෙන ත්‍රිකුණාමලය වරායට ගෙනයන බවද ජනාධිපතිවරයා කීය.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර දිසානායක මහතා මෙසේද කීය.
ඉරානයේ නෞකා දෙකක් පිළිබඳව ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. එහිදී අප අනුගමනය කරමින් සිටින්නේ මධ්‍යස්ථ භාවයයි.
ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරය වන්නේ මධ්‍යස්ථ බවයි. අප අපගේ භූමිය, මුහුදු කලාපයන් මෙන්ම ගුවන් කලාපයන් කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාතී ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ.ගැටුම ආරම්භ වූ මොහොතේ සිටම අප ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම අපේ ප්‍රකාශයන් සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව කටයුතු කරනවා.අප ජාතියක් මෙන්ම රාජ්‍යයක් ලෙස මධ්‍යස්ථ බව ආරක්ෂා කරන ගමන් මනුෂ්‍යත්වය අංක එකෙහි තිබෙනවා.මනුෂ්‍යත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ,මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අප කිසිසේත් පැකිලෙන්නේ නැහැ.රාජ්‍යයකට ගත හැකි හොඳම ප්‍රතිපත්තිය එයයි. අප ඒ ප්‍රතිපත්ති වල ඉඳගෙන කටයුතු කරනවා.
පසුගිය 26 වැනිදා ඉරාන රාජ්‍ය විසින් අපගේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නාවික යාත්‍රා තුනක් අපේ වරායට සේන්දු වීම සඳහා මාර්තු 9 සහ 13 අවසර ඉල්ලුවා.එය හැඳින්වූයේ සහයෝගීතාව වර්ධනය කරන සංචාරයක් ලෙසයි.අප සොයා බලන විට ඔවුන් අපගේ ජාතික ජල තීරය ආසන්නයේ ඉන් ඔබ්බෙහි රැඳී සිටියා.
සහයෝගීතා සංචාරයක් ඒ විදියට සිදුවන්නේ නැහැ. ඊට අවශ්‍ය විශාල ක්‍රියා පටිපාටියක් තිබෙනවා.අප ඒ පටිපාටි අධ්‍යයනය කරමින් සිටියා.
ඊට පසුව අපට වාර්තා වූයේ දැන් අප බාරයට ගෙන තිබෙන නෞකාවේ නාවිකයෙක් නැවේ වැටී ආපදාවට ලක්වී තිබෙන බවයි.එම නාවිකයා සහ නිලධාරියෙක් මානුෂික අවශ්‍යතාවයක් සඳහා ගොඩබිමට පැමිණෙන්න ඉල්ලා සිටියා.අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව මැදිහත් වී එම දෙදෙනා ගොඩබිමට ගෙනැවිත් වෛද්‍ය කටයුතු සඳහා යොමු කළා.
ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව පසුව සැලවුනා.ඒ අනුව අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව විශාල මෙහෙයුමක නිරත වුනා.අපේ නාවික හමුදාව වේගයෙන් මැදිහත් වී තිස් දෙදෙනෙක් මුදාගත්තා.මළ සිරුරු අසූ හතරක් සහ තුවාල කරුවන් ගොඩබිමට ගෙනාවා.
දෙවනුව අයිරිෂ් බුෂර් නෞකාව 4 හෝ 5 යන දෙදින තුළ අපේ වරායට සේන්දු වීමට අවසර ඉල්ලුවා.අප ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටියා.අපේ විදේශ අමාත්‍යවරයා ඉරාන විදේශ ඇමති සමග සාකච්ඡා කළා.
අනතුරුව ඔවුන්ගේ එක් එන්ජිමකට ආපදාවක් සිදුවී තිබෙන බව දැනුම් දුන්නා.අප අනුගමනය කළ යුතු සම්මුතීන් තිබෙනවා.
මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවේ.එක් පාර්ශවයක නැවක් අපේ වරාය වෙත පැමිණීමට කරන ලද ඉල්ලීමක්.අප එය සලකා බැලිය යුත්තේ ජාත්‍යන්තර ප්‍රඥාප්ති අනුවයි.
සාකච්ඡා වලින් අනතුරුව අපේ යෝජනාව වුණේ ඒ පිරිස සහ නෞකාව අපේ භාරයට ගැනීමට ලෑස්ති බවයි.ඒ අනුව නැවේ සිටින පිරිස මුදවා ගැනීම සහ නැව ස්ථාන ගත කරන ස්ථානය පිළිබඳවත් අප පොදු එකඟතාවයකට ආවා.අපගේ කොළඹ වරාය ආසන්නයේ මෙම නාවික යාත්‍රාව තිබුණත් කොළඹ වරාය අපේ ප්‍රධාන වාණිජ වරායයි. එමෙන්ම මෙවැනි නෞකාවක් කොළඹ රඳවා ගැනීම නාවික කර්මාන්තයට අනතුරක්.ඒ නිසා එම නෞකාව අප කොළඹ වරායට රැගෙන එන්නේ නැහැ. ත්‍රිකුණාමල වරායට රැගෙන යනවා.ඊට පෙර එහි සිටින පිරිස කොළඹ වරායට ළඟා කරගන්න කැමතියි.
අපේ යාත්‍රාවක් ඒ යාත්‍රාව සමීපයට ගොස් ඒ අය මුදවා ගැනීමේ කාර්යයේ නිරත වෙනවා.දැනට 208 දෙනෙක් ගොඩබිමට කැඳවාගන්න කටයුතු කර තිබෙනවා. එහි නිලධාරීන් 53ක් ඉන්නවා.
කැඩෙට් නිලධාරීන් 84ක් ඉන්නවා. ජේෂ්ඨ නාවිකයන් 48 ක් ඉන්නවා.නාවිකයන් 23ක් ඉන්නවා .මේ පිරිස අපේ යාත්‍රාවකින් රැගෙන විත් කොළඹ වරායට ගෙන එනවා.ඉන් අනතුරුව ඒ නැවට අවශ්‍ය කාර්ය මණ්ඩලය අපේ නාවිකයන් සමඟ ඒකාබද්ධව ත්‍රිකුණාමල වරාය අසලට ගෙනයන්න කටයුතු කරනවා.
අප කිසිදු රාජ්‍යයකට පක්ෂපාතී හෝ කිසිදු රාජ්‍යයක යටත් වීමට කටයුතු කරන්නේ නැහැ.
අපේ මුහුද පිළිබඳවත් රාජ්‍ය පිළිබඳවත් ජනතාව පිළිබඳවත් අපට වගකීමක් තිබෙනවා.අප තීන්දු තීරණ ගත යුතු වන්නේ අපේ ජනතාව සහ මාතෘ භූමිය පිළිබඳව ප්‍රමුඛතාවයක් ඇතිවයි.මොන අඬ හැරයන් එළියේබතිබුණත් අප කිසිවකට යටත් වන්නේ නැහැ. අපේ ස්ථාවරය බවට පත්වන්නේ මධ්‍යස්ථ බව රැකගෙන මානව වාදයේ ඉස්මතු කිරීමයි.කිසිදු පුරවැසියෙක් මෙවැනි යුද්ධයකින් මිය යා යුතු යැයි අප විශ්වාස කරන්නේ නැහැ. අපගේ ප්‍රවේශය වන්නේ සියලු පුරවැසියන්ගේ ජීවිත තමන්ගේ ජීවිත හා සමාන ලෙස සැලකීමයි.මේ අනුව අප මේ තීන්දු තීරණ ගන්නවා.මුදවා ගැනීම් කටයුතු කරනවා.
ලෝක සාමය වෙනුවෙන් හැම දෙනාම තමන්ගේ කැපවීම දැක්විය යුතුයි.විශාල ආර්ථික කුණාටුවක් හඹා යාමේ අනතුරක තිබෙනවා.සමාජ දේහය යම් අනතුරකට පත්වීමේ අනතුරක් තිබෙනවා. ලෝකයට අවශ්‍ය වී තිබෙන්නේ සාමයයි.ඒ සාමය වෙනුවෙන් කැපවීම කරමු.සාමය සඳහා වන හැම පියවරකටම අපේ සහාය ලබාදෙන්න ලෑස්තියි.
අද දවස පුරාම මේ පිළිබඳව අසත්‍යය අතාර්කික චෝදනා මුඛයෙන් මෙන්ම විවේචනාත්මක මුඛයෙන් බිය අදහස් ප්‍රකාශ කෙරුණා. අප මේ සියල්ල මැද රජයක් ලෙස අප රටේ කීර්තිය ගෞරවය ආරක්ෂාව වන ආකාරයෙන් මැදිහත්වීම කලා.රාජ්‍යයක් ලෙස අප ගත යුත්තේ නිර්භීත සහ මානවවාදී ක්‍රියාමාර්ගයයි.
මෙහිදී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් ඇසූ ප්‍රශ්න සහ ඔහු ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය:-
දරුවන් තුන්සීයක් සිටින නෞකාවක් අපට උදව් කළ හැකි මුහුදු සීමාවේ තිබෙන බව විපක්ෂ මන්ත්‍රී කෙනෙක් කිව්වා කිව්වා .ඒ ගැන කිව හැක්කේ කුමක්ද?
පිළිතුර:-
දිට්වා සුළි කුණාටුව සමයේදීත් ඔය ප්‍රකාශ සිදු කෙරුණා.අප ඒ කිසිවක් ගැන සැලකිල්ලට ලක් නොකර රාජ්‍යයක් ලෙස ඒ කාර්යභාරය ඉටු කළා.දැනුත් එහෙම තමයි.ළමයි තුන්සීයක කතාවත් ඒ වගේ තමයි.
ප්‍රශ්නය:-
වත්මන් රජය මීට මැදිහත්වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේද?
පිළිතුර:-
අප මේ කටයුතු කරන්නේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුවයි. යම් සිදුවීමක් වූ විට ඒ සිදුවීමෙන් ලාභ පටු ප්‍රයෝජන ගන්න උත්සාහ කළ යුතු නැහැ.
ප්‍රශ්නය:-
මේ සිදුවීම් හරහා රටේ ආර්ථිකය කඩාගෙන වැටේවි. ආණ්ඩුව පෙරළේවි වැනි මත රටේ තිබෙනවා.
පිළිතුර:-
මේ තියන තත්ත්වයට අපට ඉතා හොඳින් මුහුණ දිය හැකියි.වෙළඳපොලෙන් අප ඩොලර් මිලියන 700 කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා. මේ යුද වාතාවරණයට අපට ඉතා හොඳින් මුහුණ දිය හැකි නමුත් මෙය කොතරම් වර්ධනය වේදැයි දන්නේ නැහැ.දැනට පෙන්නුම් කරන සාධක මත ආර්ථිකයට අපට හොඳින් මුහුණ දිය හැකියි.
ප්‍රශ්න:-
මේ නෞකාව මෙහි ආවේ ඇයි?
පිළිතුර:-
ඉන්දියාවේ යම් අභ්‍යාසයකට මුහුණ දීමට ඔවුන් පැමිණ තිබෙනවා.මේක මගී නෞකාවක් හෝ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගණයට වැටෙන්නේ නැහැ.
ප්‍රශ්නය:-
අපේ මේ ප්‍රවිශ්ටය ඇමරිකාවේ කනස්සලට ලක්වේද?
පිළිතුර:-
මේ කිසිම පාර්ශවයකට යුධමය වශයෙන් සහය දීමක් නොවේ.අපේ මුහුදු සීමාව ඇතුළේ ජීවිත විශාල ප්‍රමාණයක් ආපදාවට ලක්වී තිබෙනවා. රාජ්‍යයක් ලෙස අපේ වගකීම ඒ ජනතාව සුරක්ෂිත කිරීමයි.කවර හෝ පාර්ශවයක් අනතුරකට ලක් වුණොත් අප අනුගමනය කරන ක්‍රියා පිළිවෙත මෙයයි.කවර හෝ කෙනෙක් අපව ප්‍රශ්න කරනවා නම් එය කළ යුත්තේ අදාළ ජාත්‍යන්තර ප්‍රඥාප්තීන්ට අනුව කටයුතු නොකරනවා නම් පමණයි.
ප්‍රශ්නය :-
මේ සම්බන්ධයෙන්ඇමරිකා තානාපති කාර්යාලය දැනුවත් කළාද?
පිළිතුර:-
මේක අපේ ස්වාධීන තීරණයක්.විදේශ අමාත්‍යංශය විවිධ රාජ්‍යයන් සමඟ සාකච්ඡා කරනවා. නමුත් යම් යම් රාජ්‍යවල බැඳීමකට යටත්ව අප තීරණ ගන්නේ නැහැ.
ප්‍රශ්නය:-
මෙයින් ආර්ථිකයට වන බලපෑම කෙසේද?
මූල්‍ය වෙළඳපොලේ විය හැකි පුරෝකතන මහ බැංකුව අපට ලබා දුන්නා.ඒ තත්ත්වයන්ට අනුරූප වන පරිදි මූල්‍ය වෙළඳපොළ හැසිරෙන ආකාරය පිළිබඳව මහ බැංකුව වාර්තාවක් ලබා දුන්නා.ඒ වාර්තාවේ නිර්දේශ අනුව අපි තීන්දු ගන්නවා.සෘජුවම ආර්ථිකයට බලපෑම් කරන ක්ෂේත්‍ර පිළිබඳවත් රටක් ලෙස අප ඉන්දියාව සමඟත් සාකච්ඡා කරමින් සිටිනවා.ඉතා අවධානයෙන් විධිමත් වැඩසටහන් සකස් කරමින් සිටිනවා.
ප්‍රශ්නය:-
නෞකාවේ අය ආරක්ෂිතව රඳවා ගන්නේ කෙසේද?
පිළිතුර:-
ඔවුන් වැලිසර නාවි හමුදා කඳවුරට ගෙනයන්න කටයුතු කරනවා. එමෙන්ම ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කළ යුතුයි.
ප්‍රශ්නය:-
නැව ත්‍රිකුණාමල වරායේ ස්ථානගත කර ආරක්ෂා කරන්නේ කෙසේද?
පිළිතුර:-
මේ නැව තියෙන්නේ අපේ භාරයේ.ඒ ගැන ලෝකය අවබෝධයෙන් කටයුතු කරනු ඇතැයි සිතනවා.
ප්‍රශ්නය:-
විදෙස් ගත ලාංකිකයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
පිළිතුර:-
ගැටුම්කාරී ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් ඉල්ලන්නේ සෑම රාජ්‍යයක්ම එහි ජනතාව ආරක්ෂා කිරීම සඳහා නිර්දේශ නිකුත් කර තිබෙනවා.එම රජයන් විසින් ලබා දෙන නිර්දේශ අනුව කටයුතු කරන ලෙස අප ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නය:-
අප රට ආසන්නයේ තවත් මෙවැනි නෞකා තිබෙනවාද?
පිළිතුර:-
නැහැ .එවැනි වාර්තා නැහැ.මේ නෞකාවන් පිළිබඳව අප සමීපව අධ්‍යයනය කරමින් සිටියා.කවර හෝ රටක මෙහෙයුම් මේ ආසන්නයේ වන බව අපට වාර්තා නැහැ.
ප්‍රශ්නය:-
ඉරානය ඇතුළු අනෙක් රටවල ප්‍රතිචාර කෙසේද?
පිළිතුර:-
ඉරානය අපට ඇගැයීම් ලිපි නිකුත් කර තිබෙනවා.ඔවුන් අපේ ක්‍රියාවලිය ගැන සෑහීමකට පත්වන ඇතැයි සිතනවා.
ප්‍රශ්නය:-
යුද්ධය පටන් ගන්න කොට අපේ රටේ තෙල් පෝලිම් හැදුනා.දීර්ඝකාලීනව යුද්ධය ඇදුනොත් එය කෙසේ බලපාවිද?
පිළිතුර:-
දැනටමත් මේ තත්ත්වය මෙහෙම ඉදිරියට එ ගියොත් ඉන්ධන අර්බුදයක් ඇතිවන්නේ නැහැ. නමුත් තත්ත්වය තවත් උග්‍ර වී තෙල් සැපයුම් මාර්ග සියල්ල වැහුනොත් අපට පමණක් නොව සියලු දෙනාට අර්බුදයක් ඇතිවෙනවා.


















